‘තව මාස 9 කින් විදෙස් යුද අධිකරණයක්’
දිවයින පුවත නිසා ජනපති කැළඹේ
තත්වය පහදමින් ප‍්‍රකාශයක්


හෙට (10) ඉරිදා දිවයින පුවත්පත සිය ප‍්‍රධාන සිරස්තලය ලෙස පළකර තිබෙන විශේෂ ප‍්‍රවෘත්තියක් නිසා කැළඹීමට පත්ව තිබෙන ජනපති මෛත්‍රිපාල සිරිසේන ඒ ගැන අද පේරාදෙණියේ පැවති රැස්වීමකදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
එම ප‍්‍රවෘත්තියෙන් කියැවෙන්නේ තවත් මාස 9 කින් ලංකාවේ විදෙස් මැදිහත්වීමක් සහිත හයිබි‍්‍රඞ් අධිකරණය
පිහිටුවන බවකි.
කීර්ති වර්ණකුලසූරිය ලේඛකයා විසින් ලියා පළ කර ඇති එම විස්තරය පහත පරිදිය.

‘යුද අපරාධ චෝදනා පරීක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත හයිබි‍්‍රඞ් අධිකරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ශ‍්‍රී ලංකා රජයට මාස නවයක කාලයක් ලබා දී ඇත.

මෙම හයිබි‍්‍රඞ් අධිකරණය මෙරට පිහිටුවීම සඳහා මානව හිමිකම් කොමසාරිස්ට දැඩි බලපෑම් එල්ල කර ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය යෙදවූ ජාත්‍යන්තර විනිසුරුවන් හයදෙනා බව අනාවරණය වී ඇත.

මෙම නව මස තුළ ශ‍්‍රී ලංකාව හයිබි‍්‍රඞ් අධිකරණය පිහිටුවා එකී නඩු කටයුතු අරඹන්නේ කෙසේද යන්න නිරීක්ෂණය කරන මානව හිමිකම් කොමසාරිස්වරයා ඒ ගැන පූර්ණ වාර්තාවක් 2017 මාර්තු මස මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙනු ඇත.


මේ අතර එම හයිබි‍්‍රඞ් අධිකරණයේ කටයුතු 2017 පෙබරවාරි මස ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකාව තීරණය කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

එහෙත් ඊට පෙර දකුණු අප‍්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසම සැප්තැම්බර් මසදී පිහිටුවනු ඇත. එම කොමිසමට වරපදවල් සඳහා සමාව දීමේ බලතල ද හිමිවේ.’

මෙම පුවත සම්බන්ධයෙන් අද සවසම පැහැදිලි කිරීමක් කරන ජනපති මෛත‍්‍රිපාල
පේරාදෙණියේ පැවති උත්සවයක් අමතමින් මෙසේ කියා ඇත.

‘කිසිදු අවස්ථාවක විදේශයන්ට අවශ්‍ය පරිදි මෙරට රාජ්‍ය පාලනය කළමනාකරණය කිරීමට අපි ඉඩ තබන්නේ නෑ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළත් මෙරට අධිකරණයට විදේශිය
විනිසුරුවරුන් ලවා නඩු විභාග කිරිමට ඉඩක් පවතින්නේ නෑ. එසේ හෙයින් එවැනි ව්‍යවස්ථා වගන්තියක් සංශෝධනයකටත් මං එකඟ නෑ.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සභාව කිසිම තැනක යුද අධිකරණයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශ කර නෑ. ඒ නිසා මේ පතුරන අදහස් සියල්ල සාවද්‍යයි.’