සයිටම් රජයට පවරාගන්නට
ජනපති එකඟ වෙලා


සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ප‍්‍රමිතියෙන් තොරවීම ඇතුළු ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ සවස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමග රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
පැවත්වූ සාකච්ඡාවේදී මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමට ජනපතිවරයා එකඟවූ බව
සාකච්ඡාවෙන් අනතුරුව සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ප‍්‍රකාශ කර තිබේ.
එට්කා වෙළෙඳ ගිවිසුමට අත්සන් කිරීමට පෙර ජනතාවගේ කැමැත්ත විමසා ඒ කැමැත්ත මත තීරණ ගන්නා බවද ජනපති දන්වා ඇත. රටට කිසිදු හානියක් වන ගිවිසුමකට ජනාධිපතිවරයා කැමැත්ත පළ නොකරන බව ඔවුනට පොරොන්දුවී ඇත.

සංගමය සිය අනෙක් ඉල්ලීම්ද ජනපතිවරයා හමුවේ තබා තිබෙන අතර
වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ගැටලූකාරී තත්ත්වයක් ඇති නොවන්නට වගබලාගන්නා බවට ජනපති පොරොන්දුවූ බවද මාධ්‍ය ලේකම්වරයා දන්වා සිටී.
සයිටම් ජනසතු කිරීමේ කාර්යය ඉදිරියේදී කෙසේ සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් තවම විස්තර වාර්තා නොවේ. කෙසේ වෙතත් පුද්ගලික පාලනයෙන් මිදී රජය පවරන නීතී රාමුවකට යටත්ව සයිටම් ඉදිරියේදී ක‍්‍රියාත්මක වනු ඇතිය යන්න ගැන ඉඟියක් ලැබී තිබෙන අතර එය රජයට මුදල් ගෙවා ලබාගන්නා උපාධියක් බවට පත්වනු ඇතිද නොඑසේ නම් අනෙක් සරසවි වෛද්‍ය පීඨ හා සමාන තත්වයකට පත් කරනු ඇතිද යන්න ගැන ඉදිරියේදී හෙළිදරව් කෙරෙනු ඇත.