‘හෙට මගේ මළගෙදර එන්න’ කියා
ෆේස් බුක් පණිවිඩ තබා

වෙද සිසු පෙම බිඳී දිවිනසාගත්
චෙෆ් චමින්ද


වෛද්‍ය ශිෂ්‍යාවක සමග පෙමින් වෙළී සිටි හෝටල් අරක්කැමි තරුණයෙකු දෙදෙනා අතර ඇතිවූ වැරදි වැටහීමක් නිසා කලකිරීමට පත්ව දුම්රියට පැන දිවිනසාගත් පුවතක් පසුගියදා පොල්ගහවෙලින් වාර්තා වුණා.
මිනුවන්ගමුව උඩුපිටියේ පදිංචි චමින්ද තුසිත කුමාර නමැති ඔහු කැලණි සරසවියේ උපාධිධාරියකු වන අතර සරසවියෙන් පිටවූ පසු හෝටල් කළමනාකරණය හදාරා ප‍්‍රකට හෝටල් ජාලයකට සම්බන්ධවී
අරක්කැමියෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.
පසුගිය සෙනසුරාදා හැන්දෑවේ 6.08 ට තැබූ ඔහුගේ ෆේස් බුක් සටහනක් වූයේ,
‘මගේ එෆ්බී යාළුවනේ..මම අදින් එෆ්බී එකින් නවතිනවා.ඔයාලා හැමෝටම සුබ අනාගතයක්’ යන්නයි.

ඔහු එසේ දැමූ පණිවිඩයට විවිධ අය ඇයිද යනුවෙන් විමසා ප්‍රතිචාර දුන් පසුව ඔහු ඒවාට ප‍්‍රති පිළිතුරුද හතරක් පහක් පමණ සපයා කියා තිබුනේ අපේ ගෙදර හෙට එන්න..මේක ප‍්‍රශ්න ගැන කියන අවස්ථාව නෙමේ ලෙසිනි.
පසුවදා උදේ 5.39 ට ඔහුගේ අවසන් පණිවිඩය ‘හෙට මගේ මළගෙදර එන්න’ යනුවෙන් සටහන්වී තිබුණි.
එසේ ලියා තැබූ ඔහු දුම්රියට පැන සියදිවි නසාගෙන තිබුණ බව පසුව හෙළි විය.
ඔහුගේ පෙම්වතිය බව කියන වෛද්‍ය සිසු තරුණියක සමග ඇතිවූ කථාබහකින් පසු කළකිරී ඔහු අවසන් දවසේ බීමත්ව සිටි බවත් පසුදා දුම්රියට පැන දිවි තොරකරගෙන ඇති බවත් ලැබුණ තොරතුරු මගින් වාර්තා විය.
චමින්දට සිය වටිනා ජීවිතය නැති කරගන්නට මුල්වූ ආදර ආරවුල කුමක්දැයි අනාවරණයවී නැති නමුත් ඔහුගේ ෆේස් බුක් ගිණුම පිරික්සන විට
‘කේලාම් ඇසූ පමණින් තීරණ ගැනීම වරදක්’
‘මග හරින අයගෙන් ඉක්මණින් ඈත්වෙන්න’ වැනි සටහන් හුවමාරු කරගෙන තිබෙන බව පෙනී යයි. ඔහුගේ පෙම්වතිය කිසියම් කේලමක් අසා ඔහුගෙන් දුරස්වීමට උත්සාහ දැරීම මෙම දිවි නසාගැනීමට ආසන්න හේතුවන්නට ඇතැයි ඒ අනුව අනුමාන කළ හැකිය.