හොරෙන් රට යන්න කියා
අවිස්සාවේල්ලේ නිවසක සැඟව සිටි
නේපාල කතුන් 18 ක් හමුවේ


ඊයේ අවිස්සාවේල ප‍්‍රදේශයේ නිවසකින් නේපාල ජාතික යුවතියන් 18 දෙනෙකු හමුවීමේ සිදුවීමත් සමග අලූත්ම පන්නයේ ජාවාරමක සුලමුල අනාවරණයවී තිබෙනවා.
නේපාලයේ කාන්තාවන්ට මැදපෙරදිග ගෘහසේවයේ රැකියා තහනම් නිසා මොවුන් ලංකාවට සංචාරක වීසා මත එවා අනතුරුව ලංකාවේ අය ලෙස
මැදපෙරදිග රැකියා සඳහා යැවීම මෙම ජාවාරමයි. මේ ජාවාරම සංවිධානය කර තිබෙන්නේ ඉන්දියානුවන් පිරිසක් වන අතර ලංකාවේ නියෝජිතයින් කිහිප දෙනෙකුද එයට උදව් කරන නියෝජිතයින් වශයෙන් කටයුතු කර තිබෙන බව හෙළිව ඇත.
අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ නිවසක අඩි 10-12 ප‍්‍රමාණයේ කාමරයක ඔවුන් සිරවී සිටියදී ඊයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා.
මෙම පිරිස නේපාලයේ සිට  ඉන්දියාව හරහා ලංකාවට එවා ඇති බව අනාවරණය විය.
මේ ජාවාරම පිළිබඳ මුල්ම හෝඩුවාව ලැබී ඇත්තේ නේපාලයේ වෙබ් අඩවියක පළවූ ලිපියකිනි. එහි සඳහන්ව ඇත්තේ ලංකාවේ බම්බලපිටියේ නිවසක රඳවා සිටින නේපාල කතුන් පිරිසක් ගැනයි.
එය දැනගත් පසුව ආගමන විගමන නිලධාරීන් විවිධ ආකාරයට සොයා බැලූවත් බම්බලපිටියේ නිවසක එවැනි පිරිසක් නැති නමුත් අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මෙකී නිවසේ සිටින පිරිසක් ගැන හෝඩුවාවක් ලැබී ඇති බවත් කියැවුණි. ඒ අනුව ඊයේ මෙම වැටළීම සිදු කෙරිණි. සිද්ධියට අදාළ විමර්ශන අනුව මේ ආකාරයට නේපාල ජාතික කාන්තාවන් අවස්ථා කිහිපයකදීම ලංකාව හරහා මැදපෙරදිගට යවා ඇති බව සොයාගෙන ඇති අතර දිවයිනේ ස්ථාන කිහිපයක්ම රැඳවුම් නිවාස ලෙස භාවිතා කර ඇති බවද හෙළිව ඇත.
නේපාල කාන්තාවන් පිරිස නැවත නේපාලයට පිටුවහල් කරන්නට කටයුතු කෙරෙන අතර
මේ ගැන වැඩිදුර පරීක්ෂණ සිදුවේ.