ලොව පුරා බෙහෙවින් ජනප්‍රියවී තිබෙන ඩොරයිමොන් කාටූන් හා ඇනිමේෂන් මාලාව සහ
ඒවා විකාශය කරන නාලිකාවන්ට තහනම් නියෝග පනවන්නැයි පාකිස්තානයේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.
පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන් නායකත්වය දරන පක්ෂයේ මලික් ටයිමුර් නමැත්තෙකු මෙම යෝජනාව ගෙන එමින් කියා සිටින්නේ මෙම කාටූනය නැරඹීමෙන් දරුවන් නරක් වන බවයි.
ඩොරයිමොන් යනු කුඩා ප්‍රමාණයේ රොබෝ පූසෙකි. අනාගතයේ සිට වර්තමානයට පැමිණ දරුවන්ට හා අසරණ පවුල්වලට උදව් කිරීම කතාවේ තේමාවයි. ජපානයේ නිර්මාණයක් වන මෙම කතාමාලාව මගින් දරුවන් තුළ ගුණාංග ඇති කිරීමට හා ආත්ම විශ්වාසය නැංවීමට අදහස් පතුරන්නක්  බවත් එවැනි ප්‍රශංසාත්මක කාර්යයක් කරන කතා මාලාවක් තහනම් කිරීම අර්ථ විරහිත බවත් විවේචකයන් පෙන්වා දී ඇත.