ඒකාබද්ධය වෙනම ඉල්ලූවොත්
ශ‍්‍රීලනිපට යන එන මං නැති වෙනවා
- ප‍්‍රසන්න


ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට වෙනම තරග කළහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එන මං නොමැති වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා කියයි.
පක්ෂය අද පත්ව ඇති තත්ත්වයට වග කිවයුත්තේ 2015 ජනවාරි 08 දා එක්සත් ජාතික පක්ෂය සමඟ මුක්කු ගැසූ පුද්ගලයන් බවත්
ඔවුන් පාක්ෂිකයන්ගෙන් සමාව ගත යුතු බවත් ඔහු පවසයි
උඩුගම්පල පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඔහු මෙසේ කියා ඇත.
‘පාද යාත‍්‍රාවෙන් පස්සේ රතු අලි පැටවු වගේම නිල් අලි පැටවුනුත් කලබල වෙලා. කෙතරම් බය වෙලාද කියනවා නම් පාද යාත‍්‍රාව පිළිබඳව විවිධ මැසිවිලි නඟනවා. ඔවුන් ඉලක්ක කර ගෙන තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ අපවයි. මැතිවරණයෙන් පරාජයට පත්වී පස්සා දොරෙන් ඇමැතිවරයකු වූ පුද්ගලයකු මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රභාකරන්ට සමාන කර තිබුණා. මෙවැනි කතාවක් කිව හැක්කේ ජඩයකුට පමණයි.
සන්ධානයේ මහ ලේකම් කියනවා පාද යාත‍්‍රාවෙන් වැඩිපුරම සතුටු වුණේ යූ.එන්.පී එක කියලා. එතුමාට වැරදිලා මුළු රටම අපත් සමඟ පාද යාත‍්‍රාවට එකතු වුණේ මේ ආණ්ඩුවට විරුද්ධව. පාද යාත‍්‍රාව ආණ්ඩුවට අභියෝගයක්. අද කඩා වැටිලා තිබෙන මේ ආණ්ඩුව රකින්නේ නිල් අලි පැටව්. සන්ධානයෙන් තරග කරලා රනිල්ගේ තුරුලට ගිහිල්ලා අද රෙදි නැතිව ආණ්ඩුවට කඬේ යන්නේ නිල් අලි පැටව්. ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට වෙනම තරග කළොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එන මං නෑ. ඒක සහතිකයි’