මහින්දානන්දට ලන්ඩනයෙත් නිවාස දෙකක්
මුදල් ගෙවා ඇත්තේ එක එක නම් වලින්

ඊයේ රහස් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා නිවාස හා ඉඩම් මිලට ගැනීමේ ශූරයෙකුව සිටි බවත් ඔහු ඒවා මිලට ගැනීමේදී විවිධ අයගේ නම් හා විවිධ සංවිධාන වල නම් භාවිත කර ඇති බවටත් මේ වනවිට අනාවරණය වනවා.
මින් පෙර වාර්තාවූ බොරැල්ලේ,නාවල,මහනුවර ඉඩම් හා දේපළ අටට අමතරව එංගලන්තයේ ලන්ඩන් නුවර ෆ්ලැට් 4 නමින්
නිවසක්ද, ලන්ඩන් නුවරම තවත් ස්ථානයක්වූ එස්-ඊ-26-26-ජී ලිපිනයේ තවත් නිවසක්ද ඔහු විසින් මිලට ගෙන ඇති බව වාර්තාවේ.
ඒවායේ මිල අගයන් එකක් ස්ටර්ලින් පවුම් ලක්ෂ 3 කට වැඩි වන (රුපියල් කෝටි 6) අති විශාල අගයක් වන අතර තවම තහවුරු කර නැත.
මේවා මිලට ගැනීමේදී ජපානයේ වාසය කරන හිටපු ඇමතිවරයාගේ සහෝදර සහෝදරියන්ගේ නම් වලින් මුදල් යොමු කර තිබේද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.
මේ අතර අලූත්ගමගේ හිටපු ඇමතිවරයා නිවාස හා ඉඩම් මිලටගැනීමේදී තමන්ගේ නමින් චෙක්පත් ගනුදෙනු සිදු කර ඇත්තේ ඉතා අඩුවෙන් බවත් වත්කම් සැඟවීමේ අරමුණින් විවිධ

අය වෙත මුදල් යොමු කර ඔවුන් ලවා ගෙවීම් සිදු කර ඇති ආකාරයක්ද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඊයේ ඔහුව අත්අඩංගුවට ගන්නට මුල්වූ කොළඹ 7 කිංසි පාරේ 70/03/01 ස්ථානයේ දේපළ ක‍්‍රිස්ටෝපර් රොෂානා මාටින්ස් නමැත්තියකගෙන් ඔහු රුපියල් මිලියන 27 ක් ගෙවා මිලට ගෙන ඇත්තේ ලංකා බැංකුවෙන් ලබාගත් චෙක්පත් තුනක් මාර්ගයෙනි. එම චෙක්පත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු හා රියදුරුගේ නමට නිකුත් කර ඇති අතර මොහුගේ නම ගෑවී නැත. නමුත් ඒ සඳහා ඔහුගේ මුදල් යෙදවූ ආකාරය රහස් පොලිසිය සොයාගෙන ඇත.
ක්‍රීඩා ඇමති ධූරය දරන කාලයේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් පක්ෂය නමැති සංවිධානයක් නමට ඇති මුදල් යොදවා ඇතැම් දෙපළ වල අයිතිය ලබාගෙන තිබෙන බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඊයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතීඥයින් පවසා ඇත්තේ මේ වනවිට අල්ලස් කොමිසම මගින්ද ඔහුට විරුද්ධව නඩුවක් විභාග කරන නිසා මෙය අවශ්‍ය නැති බවයි. නමුත් එයට විනිසුරු එකඟ නොවූ අතර ලබන 22 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදි.
මෙම මුදල් විශුද්ධිකරණ නඩුව පවරන ලද්දේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කළ පැමිණිල්ලක් අනුවයි.
 -----------
ඔහුගේ දේපළ ගැන තවත් විස්තර ඇති පෙර ලිපිය මෙතැනින්