බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ පැහැරගැනීම
රඟපෑමක් බව හෙළිවේ


පෙරේදා මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් බවට පත්වූ බණ්ඩාරගම අටළුගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කන්තලේ ස්වර්ණාභරණ වෙන්දේසියකට ගිය අවස්ථාවක අතුරුදන්වීමේ කතාව මුළුමණින්ම රඟපෑමක් බව දැන් එළිව ඇත. අධික ණය බරින් මිරිකී ණය ගත් අයගෙන් ගැලවුමක් නැතිව සිටි එම ව්‍යාපාරිකයා සියල්ලන් නොමග යවමින් මෙලෙස අතුරුදන් බව හඟවා ඇත්තේ
ණයකරුවන්ගෙන් බේරීමේ උපායකට බවද අනාවරණයවී තිබේ. 
මොහොමඞ් නෆ්රීන් නමැති 35 හැවිරිදි දෙදරු පියෙකු වන මෙම ව්‍යාපාරිකයා තවත් තිදෙනෙකු සමග මෝටර් රථයකින් ගොස් කන්තලේ ප‍්‍රදේශයේ නවාතැන් ගෙන රාජ්‍ය බැංකුවක පැවැත්වුනු රන් වෙන්දේසියකට සහභාගි වන්නට සූදානම්ව සිටි බවත් අසළ ෆාමසියට ගිය අවස්ථාවක මිතුරන් මගහැරී ගිය බවත් පසුව කිසිදු තොරතුරක් නොලද බවත් වාර්තාවී තිබුණා.
අතුරුදන්වුනු දවසේ කම්පාවෙන් මාධ්‍යයට අදහස් පලකළ නෆ්රීන්ගේ බිරිද රට ඉදිරියේ හඬා වැලපෙමින් දුක කියූ අතර ඔහුගේ දුරකථනයෙන් කිසිම ප‍්‍රතිචාරයක් නැති බවද  කියා සිටියා. මේ ගැන තොරතුරු හොයන්නට

ඊයේ දවසේ මාධ්‍යවේදීන් එම නිවසට ගිය අවස්ථාවේ ඇය වෙනස්වී සිටි අතර වහාම දොර වසාගෙන සැඟවුණ බව වාර්තාවී තිබේ.
කම්පාවෙන් සිටි ව්‍යාපාරිකයාගේ පියා මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ඊයේ සවස පුතා ගෙදර එන්නට නියමිත බවට සාස්තරේකින් කියැවුණ බවයි.
නමුත් ඇත්ත තත්වය පොලිසිය හෙළි කර තිබෙන්නේ මේ ව්‍යාපාරිකයා රුපියල් කෝටියකට වැඩි අධික ණය බරින් බේරීම සඳහා ණය ලබාදුන් අය මගහැරීමට මෙම උපාය දියත් කර ඇත්තේ මිතුරන්ගේද සහාය ඇතිව බවයි.
ව්‍යාපාරිකයා අතුරුදන්වූ බව දැන්වූ පසු සිද්ධියවූ බව කියූ ස්ථානය අවට සීසීටීවී නිරීක්ෂණය කළත් පැහැරගැනීමක් ගැන තොරතුරු හමුවී තිබුනේ නැත.
පසුව පොලීසිය ත‍්‍රිකුණාමලයේදි ව්‍යාපාරිකයා සමග ගිය දෙදෙනාගේ කථාබහ ගැන සැකකර පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණයවී ඇත.
ණය උගුලෙන් ගැලවෙන්නට මේ ව්‍යාපාරිකයා යාපනයට පැන ටිකදිනක් යාපනයේ ගතකර කොල්ලකරුවන් තම සල්ලි පැහැරගත්තා කියා බොරුවක් ගොතා ණය උගුලෙන් ගැලවෙන්න උපායක් යෙදූ බව ඔවුන් පාපොච්චාරණය කර ඇත.
රටම නොමග හැරිය මේ ව්‍යාපාරිකයා මෙම රහස බිරියට හෝ පියාටත් කියා නැති අතර ඒ බව ඔවුනට කියා ඇත්තේ මාධ්‍ය ඔස්සේ සිද්ධිය ප‍්‍රචාරය වීමෙන් පසුය.තමන් යාපනයේ ඉන්න බවට ගෙදරට දැනුම්දීමෙන් පසු බිරිය හා පියා වෙනස්වී ඇත.
සැඟව සිටින ව්‍යාපාරිකයා හසුකරගැනීමට පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකය.