ඇතිවූ සැකයක් මත ගමන් මල්ලේ සඟවා ග්‍රීස් ආලේප කර සූක්ෂම අයුරින් කොකේන් කිලෝග්‍රෑම් 2.6ක් ගෙනා බොලීවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව අත්අඩංගුවට ගත්තා. රුපියල් කෝටි 4ක් පමණ වටිනා මෙම කොකේන් තොගය මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඇයව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ අවසර දුන්නේ ය.

48 හැවිරිදි මෙම කාන්තාව මීට පෙර දකුණු අප්‍රිකාවේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙකු වන අතර ඇය බ‍්‍රසීලයේ සිට ඉතියෝපියාව හරහා ඉන්දියාවට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සහකර ඇත.
කොකේන් අතුළු මත්ද්‍රව්‍ය ප්‍රති අපනයන කෙරෙන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ත් ඉන්දියාව, මාලදිවයින හා පකිස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාවාරම සිදු වන බවත් පොලීසිය පවසයි.
මෙරට සිටින ජාවාරම්කරුවන් ද මෙයට සම්බන්ධ බවට පරීක්ෂණ කණ්ඩායම් මේ වන විට හඳුනාගෙන තිබේ.
කොකේන් මෙරට සැලකිය යුතු මට්ටමින් භාවිතා වන්නක් නොවන අතර සංචාරක ව්‍යාපාර ආශ්‍රිතව සුළු වශයෙන් භාවිත කෙරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේ ය.