පොත් ප්‍රදර්ශනේ 2016
නෝපාකින් -මෝර් ට්‍රැෆික් -ගරිල්ලා මාකටින්


බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මේ දිනවල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නොසිතූ විරූ ජනකායකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබේ.
ප්‍රදර්ශනය සදහා සහභාගීවන නරඹන්නන් වැඩි පිරිස දහවල් කාලයේ සිට රාත්‍රිය දක්වා එහි ගත කරන අතර සෙනග තරමක් අඩු වන්නේ උදේ කාලයට පමණි.
වාහනවල ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙන අයට ඇතුලේ පාකින් ලබාදීමට ඉඩකඩ සලසා නැත. පෙර වර්ෂවල පුරුද්දට බොහෝ අය ඇතුළට වාහන දමාගන්නට උත්සාහ කළත්
පොලිස් නිලධාරීන් උදේ 9 සිටම සියල්ල හරවා යන අතර විකල්ප ස්ථානයක් පෙන්නුම් කරන්නේද නැත. ඒ නිසා ඇතැමුන්ට බොහෝ සේ රස්තියාදුවී තැනක් සොයාගෙන අවට පාරවල් අයිනේ වාහන දමන්නට සිදුවේ. ඇතුළට ගන්නේ පාස් ඇති අයයි.

ප්‍රදර්ශනයේ පාකින් ගැටලුව නිසා බෞද්ධාලෝක මාවත සිට ඒ අවට සියලුම පාරවල් දවස පුරා අසාමාන්‍ය වාහන තදබදයකට මුහුණපා තිබෙන අතර මේ නිසා කොළඹ අවට වෙනත් තැනකට යන්නට අපේක්ෂා කරන අය එම පාරවල් මගහැරයාමද වඩාත් උචිතවේ.


පොත් ප්‍රදර්ශනයේ එන සෙනග වැඩි පිරිස පොත් ගන්නට වඩා ඒවා නැරඹීමේ  කටයුත්තට සහභාගී වන අය වන අතර ලංකාවේ වන්දනා ස්ථානවල මෙන්ම ප්‍රදර්ශනය අවට වීදිවලද මේ පිරිසට අවශ්‍ය සුළු ආහාර , බුක්මාර්ක්, සිම්පත් විකුණන අයගෙන් අඩුවක් නැත.

ඇතැම් ගරිල්ලා මාකටින් පුද්ගලයින් නරඹන්නන් පාරේ යනවිට කිසිවක් නොකියා අතට කාඩ්බෝඩ් කැබලි දික්කර ඔෆර් එක අතනින් ඉල්ල ගන්න කියා තැන් තැන්වලට යොමු කරයි. එම ස්ථානයට ගොස් බලද්දී ඩේටා පැකේජ් එකක්  විකුණන්නට සැදී පැහැදී සිටින නියෝජිතයෙකු සර් මැඩම් මේකයි ඔෆර් එක කියා සිය උපාය දිගහරී.

පොත් ප්‍රදර්ශනයට ඇතුළුවීමේදී රුපියල් 20 කට අවසර පත ලෙස බුක් මාර්ක් එකක් මිලට ගතයුතුය.(නමුත් එය නැවත පරීක්ෂා කරන ස්ථානයක් ඇතුළත නැත)
ප්‍රදර්ශනය පොත් මිලට ගන්නන්ට වැදගත් අවස්ථාවක් වන්නේ සියයට 20 ක මිල අඩුකිරීමක් සෑම පොත් හළකින්ම ලබාදෙන බැවිනි. මිලට ගන්නා පොත එහි ප්‍රකාශකගේ අලෙවි හලින්ම ගනිද්දී වට්ටම ඊටත් වැඩි විය හැකිය.
පසුපසට වන්නට මිල අඩු පරණ පොත් විකුණන අංශයක්ද තිබෙන අතර එහි පොත් පීරා බලා වටිනා යමක් තෝරන්නට අවස්ථාවක්ද තිබේ.

පොත් ප්‍රකාශකයින් වැඩි දෙනෙකු මේ කාලයේ උනන්දුව දක්වන්නේ පාසල් සිසුන්ගේ පාඩම් වලට අදාළ පොත්පත් විකුණාගැනීමට බව බැලුබැල්මට පෙනේ. ශාස්ත්‍රීය පොත් පළකරන්නට උනන්දුව දක්වන ප්‍රකාශකයින් හිඟය. ඇතැම් සාප්පුවල ෂෝට් නෝට් පොත් අලංකාර ලෙස මුද්‍රණයෙන් සකසා අලෙවි කරයි.
දෙවැනි තැන හිමිවන්නේ බොලඳ ගණයේ නවකතා සහ පරිවර්තන වලටයි. ඒවායේද අන්තර්ගතයට වඩා කැපී පෙනෙන්නේ මාතෘකාව හෝ පිටකවරයයි. හැඟුම් බර කාන්තාවකගේ පිටකවරයකින් සරසා ලිංගිකත්වය මුසු තේමාවක් යොදාගත්විට උණුකැවුම් මෙන් ඒවා අලෙවි වේ.

පොත් මිලයට ගැනීමේදී මුදල් නෝට්ටු වලින් පමණක් ගෙවීම් කරන ස්ථාන බහුලය. මුදල් හා කාඩ්පත් දෙකින්ම ගෙවිය හැකි ස්ථානද තිබේ. ප්‍රධාන පෙ‍ළේ නම් දැරූ පොත් අලෙවිහල් වලට අලෙවි ස්ථාන 3 ක් පමණ තිබේ.


පොත් ප්‍රදර්ශනයේ පොත් අලෙවිය පමණක්ම නොකෙරේ. දවස පුරා සංවාද සිදු කරන ස්ථාන, කුඩා දරුවන්ට චිත්‍ර අදින්නට දෙන ස්ථාන, දොරට වැඩීමේ උත්සව තිබේ. මීට අමතරව විවිධ දෙපාර්තමේන්තුවල ප්‍රචාරය පිණිස ප්‍රදර්ශන කුටිද තිබේ.

ගුවන් විදුලි නාලිකාවක් මගින් නරඹන්නන් සෙල්ෆි ගස්සවන තරගයක් මෙන්ම ස්ටේෂනරි සාප්පුවක් වාසනා චක්‍රයකින් දිනුම් අදින්නන් තෝරන තරගයක්ද තිබේ. අසරණ අයට පුස්තකාල තනන්නට පොත් ආධාර ලබාදීමේ මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකරන තවත් නාලිකාවක් සිය ප්‍රදර්ශන කුටිය වෙන්කර ඇත්තේ පොත් මිලට ගෙන ඒ වෙත පරිත්‍යාග ලබාගනු පිණිසය.

පොත් ප්‍රදර්ශනය නරඹන අතර විවේකයට කෑම බීම ලබාගන්නට තැන් නම් ඇති තරම් තිබේ.රුපියල් 50 කට බීම කෝප්පයක සිට ඉහළ මිල ගණන් වලට ඒවායේ සිසිල්බීම, තේ,ක්ෂණික ආහාර, නූඩ්ල්ස්,සම්බෝල පාන්,මඤ්ඤොක්කා ඇතුළු විවිධ දේ අලෙවි කෙරේ.

ඇතුළත හෝටල් පවත්වා යන ඒකාධිකාරය කවදත් ඇත්තේ ගල්කිස්ස හෝටලයට වන අතර ඔවුන්ගේ ආහාර පානවල මිල තරමක් ඉහළය. සම්මන්ත්‍රණ ශාලාවටම අයත් ආපන ශාලාවක්ද වෙනම තිබේ.
පැමිණෙන පිරිසෙන් සියයට තිහක් පමණ පොත් මිලට ගන්නා සෙයක් පෙනේ. බොහෝ කණ්ඩායම් තරුණ පිරිස් මෙම ප්‍රදර්ශන අවස්ථාව විනෝදයට එක්වීමේ තැනක් බවට පත් කරගෙන ඇත. එහි වරදක් නොපෙනෙන නමුත් ඇතැම් විට පොත් තෝරන්නට පමණක් එන අයට ඔවුන් ප්‍රදර්ශන කුටිවල සිරවී සිටීම බාධාවක් වන අවස්ථා තිබේ.

පොත් ප්‍රකාශකයින් වැඩි දෙනෙකු පවසා සිටියේ මෙවර ප්‍රදර්ශනය ඉතිහාසයේ වැඩිම ආදායම් අත්කරගත් පොත් ප්‍රදර්ශනය බවයි. අධික ඉල්ලුම සහිත ඇතැම් පොත් ප්‍රදර්ශන කාලය තුළම නැවත මුද්‍රණය කර අලෙවියට තබන්නටද සිදුව තිබේ.