තම පහළොස් හැවිරිදි (15) නැඟණිය ගැබිනියක් කළ බව කියන එම දැරියගේ සොහොයුරා ඊයේ (12දා) දහවල් ලණු පොටකින් ගෙල වැලලාගෙන නිවෙසේ මියගොස් සිටියදී සොයාගත් බව අක්මීමන පොලිසිය පවසයි.

පෝද්දල ප්‍රදේශයේ වතුයායක පදිංචිව සිටි මේ පහළොස් හැවිරිදි දැරියගේ පියා ඔවුන් අතහැර ගොස් සිට ඇති අතර දැරිය සිය මව හා වැඩිමහල් සොහොයුරාද මවගේ දෙවැනි විවාහයේ සොහොයුරා හා සොයුරිය සමඟද නිවෙසේ ජීවත්ව සිට ඇත.

එම පහළොස් හැවිරිදි දැරිය ගැබ්ගෙන ඇති බවට ළමාරක්‍ෂක අධිකාරියට ලද තොරතුරක් මත අක්මීමන පොලිසිය විසින් එම නිවෙසට ගොස් දැරිය හා ඇගේ මව පොලිසියට රැගෙන ගොස් ඒ ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ ගැබ්ගත් දැරියගේ වැඩිමල් සොහොයුරා ගෙල වැලලාගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. ඒ පිළිබඳවද අදාළ දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ සිය සොහොයුරා මීට මාස අටකට (8) පමණ පෙර තමා දූෂණයට ලක්කළ බවත්, ඒ හේතුවෙන් ඇයට මාස අටක ගැබක් ඇති බවත්ය.



පොලිසිය විසින් ගෙල වැලලාගෙන මියගොස් සිටි එම දැරියගේ වැඩිමල් සොහොයුරා වන දහඅට (18) හැවිරිදි තරුණයාගේ මළ සිරුර වැඩිදුර විමර්ශන සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහලට භාරදී තිබිණි.
තමා අතින් සිය නැඟණිය දූෂණයට ලක්වූ බව නැඟණිය විසින් පොලිසියට පවසාවි යැයි බියට පත්වී සොහොයුරා මෙලෙස සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මාස අටක (8) ගැබිනියක් බව කියන මෙකී පහළොස් හැවිරිදි දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අක්මීමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්.එම්.එස්. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත අක්මීමන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා හේමමාලි ඩයස් ඇතුළු
නිලධාරීන් විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.

අක්මීමන - තේජා සිංහබාහු