විශ්වවිද්‍යාලවල බාහිර උපාධි අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම් සීමා කිරීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව මින් ඉදිරියට බාහිර උපාධි සඳහා ලියාපදිංචි විය හැක්කේ අදාළ පීඨයට අභ්‍යන්තරව ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට සමාන පිරිසක් පමණි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ගෙන ඇති මෙම තීරණය 2016/13 චක‍්‍ර ලේඛයෙන් සියලූම විශ්වවිද්‍යාලවලට දැනුම් දී ඇත. ලබන මස පළමු වැනිදා සිට මෙම චක‍්‍රලේඛය ක‍්‍රියාත්මක

කෙරේ.

බාහිර උපාධිවල ගුණාත්මකභාවය වැඩි කිරීමේ අරමුණ ඇතිව පසුගිය ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමැතිවරයාව සිටි එස්. බී. දිසානායක මහතාද ඒ සඳහා ලියාපදිංචි කළ හැකි ශිෂ්‍ය සංඛ්‍යාව අදාළ පීඨයට අභ්‍යන්තරව බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව මෙහි දෙගුණයකට සීමා කළ අතර එල්ල වූ දැඩි විරෝධය මත එම සීමාවද ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට සිදුවිය. එලෙස සීමා කිරීමෙන් විශේෂයෙන් උසස් අධ්‍යාපනයට යොමු වීමට අපේක්ෂා කරන ගම්බද තරුණ තරුණියන්ට අසාධාරණයක් සිදුවන බවට අදහස් ඉදිරිපත් විය.

කෙසේ වුවද බාහිර උපාධි අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම සීමා කිරීමට ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ගෙන ඇති තීරණයට විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙන් විරෝධයක් නැගෙමින් පවතී.

නිලන්ත මදුරාවල