පසුගිය සතියේ මැලේසියාවේ සංචාරයක ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව ඔහු සහභාගී වන සමුළු ස්ථානය ඉදිරිපිට එල්ටීටීඊ හිතවාදීන් විරෝධතා සවිකර සිටි අතර මහින්ද එරටට ගෙන්වන්නට උදව්
කළ මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ අයි. අන්සාර් මහතා එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරා කණ්‌ඩායමක ප්‍රහාරයකටද ලක්‌වී තිබේ.

මැලේසියාවේ අයිකැප් සමුළුව නිමාකොට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය  ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළට ඇරලවා ආපසු යමින් සිටි අන්සාර් මහතාට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ගුවන්තොටුපළ පරිශ්‍රයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පසු අන්සාර් මහතා ගුවන්තොටුපළ රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආගමික වැඩසටහනකට සහභාගිවීමට නියමිතව තිබූ මැලේසියාවේ සෙන්කූල් බෞද්ධ විහාරයද
පෙරේදා (3 දා) කොටි හිතවාදීන් පිරිසකගේ ප්‍රහාරයට ලක්‌ව තිබේ.
කොටි හිතවාදීන් සෙන්කූල් බෞද්ධ විහාරයේ විහාරාධිපති ශ්‍රී සරණ හිමියන්ට පහරදීමක්‌ද කර ඇතැයි
එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි.
 සෙන්කූල් බෞද්ධ විහාරය අවටද පොලිස්‌ ආරක්‌ෂාව තරකර තිබේ.