එංගලන්තයේ බි‍්‍රස්ටල්හි එස්ටොන් ප‍්‍රදේශයේ බදු නිවසක සැමියාද නැතිව දරුවන් 5 දෙනෙකු සමග ජීවත් වන නිමෝ අබ්දුල්ලායි නමැති 39 හැවිරිදි මුස්ලිම් ජාතික මවක එම නිවසින් එළවා දමන්නට ඉඩම් හිමිකරු කටයුතු කරනවාට විරෝධය පළ කරමින් එම නිවස අවට ජීවත් වන අසල්වැසියන් එක්වී නිවස වටා මිනිස් දම්වැලක් ලෙස  ආරක්ෂක පවුරක් තැනූ පුවතක් පසුගියදා වාර්තා වුණා.

ඇය බදු මුදල් ගෙවා වාසය කරමින් සිටි මෙම නිවස පිහිටි ස්ථානයේ අධික තෙතමනය නිසා ඇගේ දරුවන් නිරන්තරයෙන් ලෙඩ රෝග වලට ගොදුරුවී තිබෙන අතර ඇය ඒ ප‍්‍රශ්නය විසදා දෙන ලෙස හිමිකරුට දන්වා ඇත. එයට ඔහු කන් නොදුන් නිසා ඒ ගැන කියන්නට ඇය පොලිසියටද ගොස් ඇත. ඒ නිසා කුපිතවූ හිමිකරු පවසා ඇත්තේ වහාම නිවසින් ඉවත්වී යන ලෙසයි.


වසර ගණනාවක් තිස්සේ එහි ජීවත්වූ අසරණ ඇයගේ ප‍්‍රශ්නය විසඳනු වෙනුවට ඇය තවත් අපහසුතාවයට ලක් කළ එම තීරණය අසා අසල්වැසියන්ද කම්පාවට පත්වූ අතර හිමිකරු පොලිසියට දන්වා ඇයව එළවා දමන්නට උත්සාහ කළ අවස්ථාවේ අවට පදිංචිකරුවන් නිවස වටා අත්වැල් බැඳගෙන දම්වැලක් තනා එම නිවසට අතතබන්නට කාටවත් එන්නට බැරි කර තීරණයට විරෝධය පළ කළා.
මෙම විරෝධය පසුව සාර්ථකවූ අතර හිමිකරු ප‍්‍රශ්නය විසඳන්නට පොලිසිය හමුවේ පොරොන්දුවී ගැටුම සමථයකට පත්ව ඇත.