මිනිබිරිය විදුහලට ඇතුළත් කර ගැනීමට විදුහලේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අලුතින් සකසා දීමට පොරොන්දු
වූවත් මුදල් අගහිඟකම් නිසා එම කටයුතු අතර මග නැවතීම නිසා සිය පුත්‍රයාගේ දියණිය පාසලෙන්
ඉවත්කර ගන්නා ලෙස මිහින්තලය පතිරාජ තෙන්නකෝන් කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවාගේ මවට
තර්ජනය කළ බව කියමින් සිසුවියගේ මිත්තණිය විසින් මිහින්තලය පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පෙරේදා

(03) උදෑසන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇය මිහින්තලය පොලිසියට පැමිණිලි කරමින් කියා ඇත්තේ පදවිය ප්‍රදේශයේ ඉගෙනුම ලැබූ සිය පුත්‍රයාගේ
දියණිය පසුගිය පාසල් වාරයේ මිහින්තලය විද්‍යාලයට ඇතුළත් කළ බවත් සිය මිනිබිරිය විද්‍යාලයට ඇතුළත්
කර ගැනීම සඳහා අබලන්ව පවතින විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව වෙනුවට අලුතින් ගේට්ටුවක්
සකසා දෙන ලෙස විදුහල්පතිනිය ඉල්ලීම් කළ බවත්ය.

ගේට්ටුව ඉදිකිරීමට පොරොන්දුවූ පසු දරුවා පාසලට ඇතුළත් කරගැනීම සිදුවූ බවත් මුදල් අගහිඟකම් නිසා එහි
ඉදිකිරීම් අතරමග නවතා දැමීමට සිදුවීම නිසා විදුහල්පතිනිය තුන්වන පාසල් වාරය ආරම්භවීමත් සමග දරුවා
පාසලෙන් වහාම ඉවත්කර ගන්නා ලෙස බලපෑම් කර ඇති බව ඇය පොලිසියට පැමිණිලි කරමින් කියා තිබුණි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් මිහින්තලය පතිරාජ තෙන්නකෝන් කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනියගෙන් දුරකථනයෙන්
කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය. මම කිසිම දරුවකුගේ දෙමාපියන්ට කියලා ගේට්ටු හදාගෙන නෑ.
මේ ගේට්ටු හදන්නේ පාසල් සංවර්ධන සමිතියෙන්. ඒ අය තමයි මියගිය දරුවන්ට පින් පිණිස කියලා ඒකට
මැදිහත්වුණේ. දරුවා පිළිබඳව දෙමාපියන් කිසිම අවධානයක් නෑ. දරුවා අසනීප වෙනවා.  දන්වන්න
කෙනෙක් නෑ. ඒ ගැන අවධානයක් යොමු කරන්න කිව්වා. නැත්නම් දරුවා පාසලෙන් ඉවත් කර ගන්න කියලා
නෑ. ඒ සිද්ධිය පිළිබඳව උසස් අධ්‍යාපන නිලධාරින් ඇතුළු පාසල් කාර්ය මණ්ඩලය දන්නවා යැයි ඇය
පැවසුවාය.
බුද්ධික විජේසූරිය – අනුරාධපුර