බැරිම තැන අපි 
වෙන පක්ෂයක් හදන්න තීරණය කළා
- මහින්දගෙන් ප්‍රකාශයක්

හිටපු ජනපති මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂ පිල පක්ෂ තනන්නට යන බවට විටින්විට විවිධ ආරංචි පැතිරුණත් ඒවා සැබෑ ආරංචි වූයේ නැත.
නමුත් මේ වනවිට ශ්‍රිලනිප බෙදීම තීරණාත්මක මංසන්ධියකට පැමිණි ඇති සෙයක් දක්නට ලැබේ.
පසුගිය කාලයේ තමා ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගනිමින් ඉදිරියට යන්නට උත්සාහ කළද එය අසාර්ථක වූ බවත්
තම පිරිසට ‘ගහලා බිත්තියට හේත්තු කළාම වැඳලත් බේරෙන්න බැරි නිසා‘ වෙන පක්‍ෂයක් හදන්න තීරණය කළ බවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර තිබේ.

 පෙරේදා (17දා) සිතුල්පව්ව රජමහ විහාරස්ථානයේ පැවැති පින්කම් මාලාවකට සහභාගි වෙමින් ඔහු මෙසේ කියා ඇත.
‘මේ අයගේ කෙරුවාව ජනතාව තේරුම් අරන් තියෙන්නේ. අපි හොරු කිය කියා හැමදාම අධිකරණයට අරන් යන එක මේ අයගේ වැඩේ. බන්ධනාගාර රෝහල අගමැති කාර්යාලයේ නියමයෙන් වහලා දමලා. අපේ ප්‍රබලයකු අත්අඩංගුවට ගන්න හදනවා කියලා මට ආරංචියි.

රෝහල අලුත්වැඩියා කරලා තිබුණේ. තවත් අලුත්වැඩියාවක් කරන්න කියලා වහන්න වුවමනා නැහැ. මේ පළිගැනීම් කවදා නතර කරාවිද දන්නේ නැහැ. බැරිතැන තමයි අපේ අලුත් පක්‍ෂෙ බිහි වෙන්නේ.අපිට ගහලා අපි බිත්තියට හේත්තු කළාම වැඳලත් බේරෙන්න බැරි හින්දා තමා වෙන පක්‍ෂයක් හැදෙන්නේ‘