යහපත් අර්ථය තකා
තැනේ හැටියට බොරුවක් කීම
බුදු දහමට අනුව වරදක් නොවේ

-පූජ්‍ය මිරිස්සේ ගුණසිරි හිමි


බුදු දහමේ හැටියට බොරු කීම පාපයකි. එහෙත් ප‍්‍රායෝගික ජීවිතයේ සැබෑ බොදුනුවන්ටත් බොරු කියන්නට සිදුවන අවස්ථා එමට තිබේ. ඒවායින් පාපයන් සිදුවේද නැද්ද යන්න ගැන පවතින්නේ අවිනිශ්චිත තත්වයකි.
මේ ගැන අපවත්වී වදාළ පූජ්‍ය මිරිස්සේ ගුණසිරි හිමියන් දැක්වූ අදහසක් පහත පළවේ.
‘බොරු වනාහි අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය වශයෙන් දෙවදෑරුම්ය. යමක් සඟවා කීමෙන්
සිදුවන අනර්ථය වැඩි නම් අර්ථය හෙවත් යහපත අඩු නම්


එවැනි මහා සාවද්‍ය බොරු නොකියාම හැරිය යුතුය. යමක් සඟවා ලීමෙන් සිදුවන යහපත වැඩිනම් අයහපත අඩුනම් එවැනි බොරු අල්ප සාවද්‍යය. මිනිසෙකුගේ ජීවිතයක් තමන් කියන බොරුව නිසා බෙරෙයි නම් එවැනි තැන බොරුවට සමාවක් තිබෙන්නා සේ පෙනේ.

එදා සද්ධාතිස්ස කුමාරයා තම ජීවිතය බේරාගැනීම සඳහා මහා විහාරයට රිංගා යනවිට ගැමුණු කුමාරයා සද්ධාතිස්ස මෙහි ආවාදැයි ඇසූ විට එහි සිටි අය ඇත්තම කිවුවේ නම් අත්වන්නේ දරුණු විපාකයකි.එම බොරුව නිසා අසරණ ජීවිතයක් රුදුරු මරණයකින් බේරුණි.

පියා මරා මහා සංඝයාගෙන් එයට පිළියමක් විචාල රාජසිංහයන්ට ඇත්තම කීව නිසා සිදුවූ ජාතික හා ආගමික පරිහානිය ගැනද ඉතිහාසයේ තිබේ. මහා විහාරික භික්ෂූන් මෙන් තැනට ගැළපෙන නුවණක් යොදා පිළිතුරක් දුන්නා නම් ඒ මහා විනාශය වළක්වා ගන්නට තිබුණි. එහෙයින් ජීවිතයක් බේරාගැනීම වැනි තීරණාත්මක අවස්ථාවකදී සම්‍යක්ප‍්‍රයෝගයක් යෙදීම එතරම් නරක යයි කියනු බැරිය.’