ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා අවස්‌ථා දෙකකදී අනුමත කර තිබියදීත් තුන්වැනි ශ්‍රේණියට සිසුවියක ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා වහාම පෙනී සිටින ලෙස දන්වා නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.

විදුහල්පතිනියගේ එම අසාධාරණ ක්‍රියාකලාපය නිසා පෙත්සම්කරුගේ දියණියට මාස තුනක්‌ තිස්‌සේ පාසලක්‌ නොමැතිව නිවසේ සිටීමට සිදුවී ඇති බව පෙන්වා දෙමින් පෙත්සම්කාර අසංක ක්‍රිස්‌ටෝපර් වික්‍රමසිංහ මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය. නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි පී. එන්. රාජපක්‍ෂ, අධ්‍යාපන


අමාත්‍යාංශයේ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්‍ෂ, අධ්‍යාපන අමාත්‍යවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

නිසි සුදුසුකම් සපුරා තිබියදීත් සිය දියණිය අනුලා විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් තමා කළ අභියාචනය පිළිගත් අධ්‍යාපන අමාත්‍යාංශය ඇය අනුලා විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීමට නිර්දේශ කළ බවත් ඒ අනුව ජාතික පාසල් අධ්‍යක්‍ෂ  ලිපියක්‌ යවමින් එම සිසුවියව ඇතුළත් කරගන්නා ලෙසට දැන්වූ නිසා සිය දියණිය එතෙක්‌ ඉගෙනගත් පාසලින් අස්‌කරගෙන  අදාළ ලියකියවිලිද සමඟ නුගේගොඩ අනුලා විදුහලට ගිය නමුත් තමා කතෝලික අයකු බව දැනගත් විදුහල්පතිනිය සිය දියණියව විදුහලට ඇතුළත් කරගැනීම ප්‍රතික්‍ෂේප කළ බවත් එහි දැක්වේ.

ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා නැවත අනුමත කළහොත් සිසුවිය පාසලට ඇතුළත් කරගැනීමට හැකි බව සිසුවියගේ මවට විදුහල්පතිනිය කළ දැනුම්දීම අනුව ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස්‌ මත පියා සහ මව දිවුරුම් ප්‍රකාශ දෙකක්‌ මගින් එම සිසුවිය විදුහලට ඇතුළත් කළ පසු බෞද්ධ ධර්මය ඉගෙනුම සහ බෞද්ධ වත්පිළිවෙත්වල යෙදීමට එකඟතාව පළකර  නැවත ලිතව දැනුම් දී ඇතත් කිසිදු හේතුවක්‌ නොදන්වා එම නියෝගය ද විදුහල්පතිනිය පැහැර හැර ඇතැයි පෙත්සම්කාර පියා අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඒ. ඡේ. ඒ. අබේනායක