වැරදි කරන භික්ෂූන්ව
‘චීවරධාරීන්’ යනුවෙන් හැඳීන්වීම නවත්වන්න
-පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි

ලංකාවේ පළවන බොහෝ ප‍්‍රකාශනවල මෑතක සිට වැරදි කර හසුවන භීක්ෂූන් නම් කිරීමේදී ‘චීවරධාරීන්’ ලෙස හඳුන්වමින් හටගෙන තිබෙන ප‍්‍රවණතාවයක් පිළිබඳව පසුගිය පොහොය දිනයේ පුවත්පතකට ලිපියක් ලියන පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන් එය නොගැළපෙන බවට
අදහස් දක්වා තිබෙනවා.



උන් වහන්සේ ඒ ගැන මෙසේ සඳහන් කර ඇත.

‘බැහැර කළ යුතු කෙළෙස් කහටින් හා සිල්වත් බවින් යුතු දමනය කළ ඉඳුරන් ඇත්තෝ කසාවත දැරීමට සුදුසු වන බව ධම්ම පදයේ දැක්වෙනවා. මෙම පාරිශුද්ධ වස්ත‍්‍රය එහි නිමාව හා පරිමාව ගැනද බුදු දහමේ විනය ග‍්‍රන්ථවල සඳහන් වෙනවා. ක‍්‍රි.ව. 6 වන සියවසේ සිට මේ දක්වා කිසිදු වෙනසකට භාජනය නොවී ගෞරව බුහුමනට ලක්වූ මෙම වස්ත‍්‍රය ථෙරවාදී බුදුදහමේ භික්ෂු සංකේතයයි.


අද මෙන්ම එදාද කසාවත දැරීමට සුදුසු නැති අය ශාසනයේ සිටියා.බුද්ධ කාලීන සංඝ සමාජයේ පවා මේ ධර්මතාව පොදුයි. විනය ග‍්‍රන්ථයේ දැක්වෙන පරිදි විෂමාචාර ක‍්‍රියා සිදුකරමින් අශික්ෂිතව ක‍්‍රියාකරන පැවිද්දන් බහුලයි. මේ අය වර්තමානයේ බොහෝ මාධ්‍ය හඳුන්වන්නේ ‘චීවරධාරී’ යන නමිනි.එහි සාමාන්‍ය අදහස වන්නේ ‘සිවුරු දරන්නා’ යන්නයි.එසේ ගත් කළ සියලූ පැවිද්දෝම චීවරධාරීහු වෙති.

එය පොදු භික්ෂු සමාජයටම කරන අවමානනීය හැඳින්වීමක් වන අතර උතුම් වචනයක අර්ථයද වෙනස් කිරීමකි.එවැනි අයෝග්‍ය අවමන් සහගත අය හැඳින්වීම සඳහා ඊට සුදුසු වෙනත් වචනයක් යොදා ගත යුතු බවට යෝජනා කළ යුතුව ඇත’