පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවෙසට කඩාවැදී ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන ගොස් මිහින්තලය දිවියාබැන්දවැව ප්‍රදේශයේ කැලෑවක සඟවාගෙන සිටි පෙම්වතකු හා ඔහුගේ මිතුරා මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් පෙරේදා (10දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය ගිනිකටුවැව රඹෑව පදිංචි යාපනය ප්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවය කරන සෙබළකුගේ 36 හැවිරිදි බිරියක් විසින් පෙරේදා (10දා) අලුයම තරුණයන් සිවුදෙනකු පැමිණ තම දියණිය පැහැරගෙන ගිය බවට කල්ලංචිය පොලිස් මුරපොළට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා

අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර පෙම්වතා පැහැර ගැනීමට ලක්වුණු 17 හැවිරිදි තරුණිය සමඟ මාස පහකට ආසන්න කාලයක් පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඇයගේ මවුපියන් ඊට විරෝධය පළ කිරීම නිසා සති කිහිපයකට ඉහතදී තරුණිය විසින්  සම්බන්ධතාව නවතා ඇත.
පසුගිය 10 වනදා අලුයම 1.30ට පමණ මුහුණු ආවරණය කරගෙන ඇයගේ නිවෙසේ ඉදිරිපස ‍දොර කඩා ඇතුළු වූ සැකකරුවන් දෙදෙනා පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇත.
මේ අනුව පොලිසියට දැනුම්දීමෙන් පසු පසුදා සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසියට හැකිවිය. පොලිසිය යද්දී තරුණියව කැලයේ ගසක් යට ඉන්දවාගෙන සිටි බවත් තරුණියගේ ජංගම දුරකතනයද ඔවුන් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත් වාර්තා විය.
ඇය බියගන්වා කැලෑවට ගෙන යද්දී පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව තිබූ බවත් සැකකරු ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යෑම නිසා උදරය, අත්පාවලට බරපතළ තුවාල සිදුව තිබූ නිසා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇයට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නැති බව තරුණිය පොලිසියට කියා ඇත.
සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය