වසර පහෙන් පහට ස්ථාන මාරු ලැබෙන රජයේ රියැදුරන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ප්‍රමුඛතා ලබා දෙන ලෙසට ලංකා රාජ්‍ය රියැදුරු සංගමය ඉල්ලා සිටියි.

ළමයින් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා ප්‍රමුඛතා ඉල්ලා ලංකා රියැදුරු සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ටත් මේ සන්දේශය ඉදිරිපත් කොට තිබේ.
වෛද්‍ය වෘත්තීය සමිති සංගම්වල සාමාජිකයන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී

පැවැති ආණ්ඩුවලින් වරප්‍රසාද ලබාගෙන ඇති බවද තවදුරටත් දිගින් දිගටම ප්‍රමුඛතාව ඉල්ලා සිටින බවද ඒ පරිද්දෙන්ම තම සංගමයේ සාමාජිකයන්ගේ දරුවන්ටත් ප්‍රමුඛතා ලබා දිය යුතු බවද එම සන්දේශයේ දැක්වේ.
බොහෝ නිලධාරීන් විසින් පහත් මට්ටමේ වෘත්තියක් ලෙසට සලකනු ලබන රියැදුරන්ටත් පැය අටකට වැඩි කාලයක් දිනකට රාජකාරි කළ යුතුව ඇතත් නිල නිවාස පවා නැති බවද කියන ලංකා රාජ්‍ය රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජී.ඒ.එස්. අරුණ කුමාර මහතා පවසන්නේ අඩුම තරමින් තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී හෝ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසයි.

චන්ද්‍රසේන මාරසිංහ