ගාල්ලේ කරාපිටිය රෝහලට යාබදව පිළිකා රෝහලක් ඉදිකිරීමට මහජන අරමුදල් රැස්කිරීමක් ආරම්භ කරන්නට නියමිතය. මේ සඳහා ලබන බ්‍රහස්පතින්දා (06) සිට දින 28 ක් මුළුල්ලේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පාගමනක් පැවැත්වෙන අතර එම පාගමනට එක්වන්නැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.


මීට වසර කිහිපයකට ඉහතදී මෙවැනි පාගමනකින් රැස් කළ අරමුදලින් යාපනයේ තිලිප්පලේ ප්‍රදේශයේ පිළිකා රෝහලක් ඉදි කළ බව පෙන්වා දෙන ඔහු, මිලියන 700 ක් වැයවන මෙම වයාපෘතියට දැනටමත් මිලියන150 ක් එකතුකර ඇති බව දන්වයි. ඉතිරි මිලියන 550 මෙමගින් එකතු කරන්නට අපේක්ෂා කරන බව ඔහු කියා සිටී.
මහේලගේ ප්‍රචාරණ දායකත්වයෙන්TrailSL පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ එක්ව දියත් කරන මේ ව්‍යාපෘතියට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.
මහේල මින් ඉහත මහරගම ‘හෝප්‘ පිළිකා රෝහල වෙනුවෙන් අරමුදලක් ඇරඹුවද සුනාමිය ලංකාවට ආ අවස්ථාවේ රෝහලට දෙන්නට සිටි අරමුදල් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන්නට ප්‍රධාන පරිත්‍යාගශීලීන් වෙනස් තීරණයක් ගැනීම නිසා එම වැඩපිළිවෙල අතරමග ඇණ හිටිණි.