හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ජ්‍යොතිෂ්‍ය උපදෙස් සැපයූ සුමනදාස අබේගුණවර්ධන පසුගියදා මව්බිම පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුනේ මහින්දගේ කල දැන් හොඳ බවත් නැවත උපදෙස් දෙන්න තමා සූදානම් බවත්ය. මේ ගැන ඊයේ ඉරිදා දිවයින පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ පිළිතුරක් ලබාදී තිබුණි.
ප්රශ්නය - තව වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයකට යන්න කියලා ඔබට උපදෙස් දුන්න ජ්යෙතිෂ්යවේදීනුත් මේ කුමන්ත්රණයේ හිටියද...?
පිළිතුර - ඒ අය මොන දේවල් කිව්වත් දේශපාලන තීන්දුවක් මතයි මම ජනාධිපතිවරණය පැවැත්වුවේ. මම හැමදාම මැතිවරණ විශ්වාස කරපු කෙනෙක්. ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ඡන්ද අයිතිය විශ්වාස කරපු
කෙනෙක්. ඒ වෙලාවේ ඡන්දය තියන්න මම තීන්දු කළා. ජ්‍යෙතිෂ්‍යවේදීන් එපා කිව්වත් මම ඒ වෙලාවේ ඡන්දය තියනවා. මෙතැනදී වුණේ, ඒ වෙලාවේ ඡන්දය තියන්න කියලා ඒ අයත් මට කිව්වා.
ප්රශ්නය - දැන් කොහොමද ඔබගේ කළ දසාව... ඒරාෂ්ඨකය එහෙමත් ඉවර වෙලාලු නේද...?
පිළිතුර - රාජ්‍ය නායකයා කියන්නේ බරපතළ වැඩ ගණනාවකට අතගහලා ඉන්න කෙනෙක්... ඒ වේලාවට ජ්‍යෙතිෂය එහෙමත් බලන වෙලාවල් තියෙනවා. එහෙම බෑලු මත පමණක් ඉඳලා කිසිම නායකයෙක් තීන්දු ගන්නේ නැහැ. වෙලාව හොඳ නම් ඉතිං කමක් නැහැනේ... ගෙයක් හදන්න ඕනේ නිසා නැකතක් බලනවා මිසක් නැකත් තියෙන නිසා කවුරුත් ගෙයක් හදන්නේ නැහැනේ...
ප්රශ්නය - යළිත් වරක් ඔබට ජ්‍යෙතිෂය උපදෙස් දෙන්න සූදානම් බව, ඔබ සමීපව ඇසුරු කළ සුමනදාස අබේගුණවර්ධන මහතා කියලා තිබ්බා.
පිළිතුර - බොහෝම ස්තුතියි... එයාටම තියා ගන්න කියන්න...
ප්රශ්නය - ඔබ දකින්නේ තව වතාවක් අගමැතිවීමේ සිහිනයක්ද...?
පිළිතුර - නැහැ... මම හැමදාම දැක්කේ රට ගැන හීනයක්... ඒ නිසානේ මම මේ රටේ සියලු දෙනාට බයෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරලා දුන්නේ... ඒ නිසානේ අද මගෙන් මේ පළිගන්නේ...
සාකච්ඡා සටහන -මනෝජ් අබේදීර (දිවයින)