පෑනේ මිතුරෙක් සොයන දැන්වීම්
පත්තරේ දමා
පිරිමින් සූරාකන රාජාංගනයේ තරුණිය
51 වියැති හිටපු සැරයන්ව තුවායෙන් යවලා


තමා තනිකමින් කල්ගෙවන බවත් පාළුව මකාගන්න පෑනේ මිතුරු ඇසුරකට ආරාධනා කරන බවත් දක්වමින් පුවත්පත් දැන්වීම් පළකරන 26 හැවිරිදි තරුණියක එම දැන්වීම අනුව සොයාගත් 51 හැවිරිදි පුද්ගලයෙකු හා අඹුසැමියන් ල‍ෙස හැසිරෙන්නට පෙළඹවීම් සහිතව රවටා පසුව එම තැනැත්තාගේ රන් ආභරණ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියක් නිසා පොලිසියට කොටුවී තිබෙනවා.
යාය 17 රාජාංගණය පදිංචි නදීෂා ජීවමානි (26) නමැති මෙම තරුණිය
විවාහක කාන්තාවකි. ඇය අවිවාහක බවට රඟපාමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ ඇගේ සැමියා වන කැලුම් වජිර දිසානායක නමැත්තාගේ උපදෙස්ද අනුව බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
සතිඅන්ත පුවත්පතක සැකකාරිය විසින් පළ කරන ලද පෑනේ මිතුරන් සොයා ගැනීමේ දැන්වීමේ සඳහන් දුරකතන අංකයට මාතලේ අලුවිහාර ප්‍රදේශයේ


පදිංචි 51 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයකු කතා කොට ඇති අතර පසුව ඇය සමග දැඩි මිතුරු සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.

ඒ අනුව දෙදෙනා  අනුරාධපුරයේදී පසුගියදා (1දා) හමුවීමටද වේලාවක් වෙන්කරගෙන ඇත. “අපි හමුවෙලාම කථාකරමු“ කියා මේ සඳහා යෝජනාව ඉදිරිපත් කර ඇත්තේද තරුණියයි.

නගරයේදී වැඩිහිටි පෙනුමක් ඇති පුද්ගලයා මුණගැසුණ වෙලාවේ ‘අයියෝ ඔයා මං හිතුවට වඩා තරුණයිනේ.. ‘ කියමින් ආලවන්ත වදන්ද කියූ ඇය  විශ්‍රාමික සැරයන්වරයා සමග දොඩමළුවෙද්දී අනියම් ලෙස එක්වීමට කැමති බවට ඉඟිකර ඇත. ඒ අනුව කාමරයක් කුලියට ගෙන අනියම් ඇසුරක් පැවැත්වීමට විශ්‍රාමික සැරයන්වරයා ආරාධනා කළ අවස්ථාවේ ඇය  එය ප්‍රතික්ෂේප නොකොට හෝටල් කාමරයට වැය වන මුදල තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා පසුව කියා ඇත්තේ “අපේ ගෙදර කවුරුවත් නෑනේ අපි එහේ ගිහින් කරමු “කියාය.



පසුව ඇගේ ඉල්ලීමට ඔහු එකඟ වී රාජාංගණයේ ඇයගේ නිවෙසට දෙදෙනාම පැමිණ ඇත. එහිදී ඇය මුලින්ම  ඔහුට පිරිසිඳු වී පැමිණෙන ලෙස දන්වා දිය නාගෙන පැමිණෙන්නට ළිඳක් පෙන්වා ඇත.

එම අවස්ථාවේ ඔහු දිය නාගෙන ඇති අතර යළි එන විට කාන්තාව සිට ඇත්තේ තවත් පිරිමියෙකු සමගය. මේ කවුදැයි අසනවිට මේ මගේ ගෑනි යයි කියමින් කාන්තාවගේ සැමියා පැමිණ මොහුට තර්ජනාත්මක කතාවක් සිදු කර තිබේ.
‘ලැජ්ජ නැද්ද ගෙවල් අස්සට ඇවිත් මේවගේ වැඩ වලට ගෑණු හොයන්න..දැන්ම පිටවෙලා යන්න නැත්නම් උඹේ සායම අරිනවා..
උඹව පොලිසියට අල්ලල දෙනවා.. ‘යයි කියමින් ඔහුට දෙදෙනාම එක්වී බැණවැදී ඇති අතර පසුව පහරදී එළවාගෙන ඇත්තේ ඔහුගේ ආභරණ හා මුදල්ද කොල්ල කමිනි. ඔහු නිවසේ ගලවා ගිය ඇ‍ඳුම්ද නැවත නොදුන් යුවළ ඔහුව නිවසින් පන්නාගෙන ඇත. නාන්නට ගිය ඔහු ඒ අවස්ථාවේ සිට ඇත්තේ තුවාය පමණක් ඉණවට දවටා ගෙනය.

පෑනේ මිතුරිය සැමියා සමග ඔහුව එළවා දැමූ පසු එම ආවරණය පිටින් අසල නිවෙසකට ඔහු දිවයෑමේදී එම නිවෙසේ අය බිය වී කෑ ගසා ඇත. ඔවුන්ගේ කෑ ගැසීම ඇසී අවට පිරිස් විශ්‍රාමික සැරයන්වරයා අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ඔහු පොලිසියට සම්පූර්ණ සිද්ධිය සම්බන්ධ සත්‍ය ප්‍රකාශ කොට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව සැකකාරිය හා ඇගේ සැමියා රාජාංගණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.
කලක පටන් මෙම අඹු සැමි යුවළ මුදල් උපයා ගැනීම සඳහා මේ ජාවාරම සිදුකර ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම දෙදෙනා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.

රාජාංගණය - කේ.එම්. චන්දික