පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හෙවත් ‘වලේ‘එහි කලා මණ්ඩලය
සංවිධානයෙන් පසුගිය 09 වැනිදා ආරම්භවූ වේදිකා නාට්‍ය උළෙල


පළමු දිනයේ සිදුවූ අප්‍රසන්න සිදුවීමකින් පසු අවලංගු කර දමා ඇත. එහි ආරම්භක දර්ශනය වු මනමේ නාට්‍යයට එල්ලවු බිත්තර ප්‍රහාරයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. කලා මණ්ඩලය හා සිසුන් අතර පැවති මතගැටුමක් මෙම ප්‍රහාරයට පසුබිම්ව ඇත.
මෙම නාට්‍ය උළෙල 9 වැනිදා සිට 15 වැනිදා දක්වා පුරා සතියක කාලයක් නාට්‍ය රැසක් වේදිකාගත කරමින් පවත්වන්නට සූදානම් කර තිබුනි.
 කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ශාම් කුමාර බන්නැහක මහතා ප්‍රකාශ කර ඇත්තේ එළිමහන් රංග පීඨයේ පැවැත්වූ නාට්‍ය සඳහා බාධා එල්ලවූ තෙවැනි අවස්ථාව මෙය බවයි.
------
update 3.30 pm
පේරාදෙණිය බිත්තර ප‍්‍රහාරය හා නාට්‍ය උළෙල අවලංගු කිරීම සම්බන්ධයෙන් කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ශ්‍යාම කුමාර බන්නැහැක ඉහත පුවත පළවීමෙන් පසු අප වෙත  පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
එය පහතින් දැක්වේ

මනමෙ නාට්‍යය රඟ දැක්වෙමින් තිබූ අවස්ථාවේදී පේ‍්‍රක්ෂකාගාරය වෙත බිත්තර කිහිපයක් එල්ල වූ අතර ඉන් නාට්‍ය ශිල්පීන්ට හෝ නාට්‍යය රඟ දැක්වීමට හෝ බාධාවක් සිදු නොවීය. කෙසේ වෙතත් මෙම අශෝබන ක‍්‍රියාව හේතුවෙන් නරඹන්නන් සමහරෙක් අපහසුතාවයට පත් වූ බව සත්‍යයකි.
කලා මණ්ඩලය සහ සිසුන් අතර මත ගැටුමක් මෙම සිදුවීමට පසුබිම් වී ඇතැයි යන්න සම්පූර්ණ අසත්‍යයක් වන අතර එබඳු ප‍්‍රශ්නයක් මේ දක්වා හට ගෙන නොමැත. කලා මණ්ඩලය යනු ශිෂ්‍ය නියෝජනයක් ද සහිත ආයතනයක් වන අතර එය ශිෂ්‍යයන්ගේ සාහිත්‍ය කලා කටයුතු සඳහා හැකි සෑම සහයෝගයක්ම දක්වයි.
මනමෙ නාට්‍යය රඟ දැක්වෙමින් තිබූ අවස්ථාවේදී ඇති වූ සිදුවීමට හේතු හෝ ඊට සම්බන්ධ පිරිස කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
නාට්‍ය උළෙල අවලංගු කිරීමට තීරණය කළේ විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරියයි. වැඩ බලන උප කුලපති තුමා සහ සියලූම පීඨාධිපතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම තීරණය ගන්නා ලද අතර කලා මණ්ඩලයේ අදහස වූයේ නාට්‍ය උළෙල දිගටම පවත්වාගෙන යා යුතු බවයි. කෙසේ වෙතත් අවසානයේ දී පරිපාලන තීරණයට අවනත වීමට කලා මණ්ඩලයට සිදු විය
.
-ආචාර්ය ශ්‍යාම කුමාර බන්නැහැක