මවගේ වියෝවෙන්
අසීමිතව කම්පනයට පත්වූ

රුවන්ට කතාකරගන්නටත් බැරිවෙලා

චාතුර්යයා ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙකු හඳුනාගත් ටෙලි නළු රුවන් වික‍්‍රමසිංහගේ මෑණියන් පසුගිය සතියේ අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට ඇය සිටියේ 73 වන වයසේ. සහෝදර සහෝදරියන් 4 දෙනෙකු සිටි නිවසක පවුලේ බාලයා වූ රුවන් මේ සිද්ධිය නිසා ඇතිවූ කම්පනය හා සිත් සසලවීම නිසා දින කිහිපයක් යනතුරු කථාකරගන්නත් බැරිව
සිටියා. තවමත් අවිවාහක රුවන්ට මව වඩාත් සමීප චරිතයක් වුණා.


රුවන්ගේ පියා සමුගෙන ගොස් බොහෝ කල් වූ අතර ඔහුගේ තනියට නිතරම ළඟ සිටි මව මෙසේ සමුගෙනයාම ඔහුට දරාගන්නට අපහසු වුණා.
මවගේ ඉල්ලීම පරිදි දේහය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට යොමු කළ නිසා විශේෂ අවමංගල උත්සවයක්ද ඇය වෙනුවෙන් පවත්වා තිබුනේ නැත.
ඔහු ඒ ගැන මෙසේ කියා ඇත.

‘අම්ම මාව දාල ගියා කියන එක තාම මට අදහගන්න බෑ. කතා කරන්නත් අමාරුයි.මං කාන්තාරයක තනිවුණා වගේ.මගේ ජීවිතේම නතර වෙලා.පවුලෙ හැමෝම අම්මට එක වගේ ආදරෙයි. ඒත් අම්මට මං ගැන විශේෂයක් තිබුණ මං බාලයා නිසා.මගේ විවාහය ගැන තමා එයා නිතර හිතුවේ.

මං යාළුවෙලා ඉන්න කෙනාව ඇයට පහුගිය දවස්වල අඳුන්වල දීලයි තිබුනේ. එයා ගැන අම්මා සතුටුයි.ඒත් අපේ විවාහය ඇය නැතිවෙන්න කලින් සිදුකරන්න බැරිවීම ගැන දුකයි. අම්මා 25 වෙනිදා නැතිවුණා. 26 වෙනිදම අපි ඇගේ අවසන් කැමැත්ත විදිහට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලෙට සිරුර භාර දුන්නා.
ඇගේ නික්මයාම තවම හීනයක් වගේ...’