ඊයේ නිකුත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමයා ලෙස කුලියාපිටිය අස්සැද්දුම විද්‍යාලයේ රුවන්‍යා මෙත්මින්යා දැරිය අද (5දා) අලුයම සිට රාජ්‍ය තොරතුරු ඒකකය සහ මාධ්‍ය මගින් නම් කර තිබුනි. නමුත් එයින් පැය
ගණනකට පසු විභාග දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිල ෆැක්ස් පණිවිඩයක් එවමින් ඇයව දෙවැනියා කර සටහන් කර තිබුනි.
ඇය පළමු වෙනියා කළ අවස්ථාවේ විවිධ මාධ්‍ය මඟින් ප්‍රචාරය පිණිස කැමරා කන්ඩායම්ද ඒ වනවිට ඇය සොයාගෙන පැමිණ තිබුණ අතර කුලියාපිටිය අස්සැද්දුම විද්‍යාලයේ රුවන්‍යා දැරිය හා දෙමාපියන්ද


පළමුවෙනියා ලෙස ඇයව පිළිගනිමින් ඒවාට ප්‍රතිචාර දක්වා තිබුණි.හදිසියේ නැවත දෙවැනියා කිරීමෙන් එම දැරිය මෙන්ම මවුපියන් සහ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් මහත් අපහසුතාවට පත්ව ඇත.
මේ පිළිබඳව රුවන්යා දැරිය කඳුළු පිරි දෙනෙතින් දුක්වූ බවද වාර්තාවේ.
ලංකාවෙන්ම දෙවැනියා වුණත් මුලින් මවුපියන් ඇතුළු පිරිස සතුටට පත් කළ ප්‍රවෘත්තිය සාවද්‍ය බව දැනගත් පසු අපි හැමෝම අසරණ වුණා. ලැජ්ජා වුණා. මම ලංකාවෙන්ම

පළමුවැනියා වීමට හීන මැව්වේ නෑ. මගෙ ඉලක්කය වුණේ ලකුණු 180ක් පමණ ප්‍රමාණයක්. ඒත් මේ තත්ත්වයට අපිව පත් කෙළේ රජයේ තොරතුරුවලින්මයි. මට දැන් තියෙන්නේ සතුටකට වඩා කනගාටුවක්. යයි ඇය කියා ඇත.
දැරියගේ පියා වන වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පවසා ඇත්තේ දරුවන්ගේ අනාගතයට, මනසට දැනෙන මෙවැනි තොරතුරු පළ කිරීමේදී ඒ පළ කරන ආයතන වගකීමෙන් කටයුතු කළ යුතු බවකි.

වාර්තා සටහන -කුලියාපිටිය - එස්. ඒකනායක /ගිරිඋල්ල - ඔවින් කෞශල්‍ය