පසුගිය රජය සමයේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව මහා සමූහ දූෂණයකට ලක්කිරීම සම්බන්ධ දත්ත ලැබී ඇති බව  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
 අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙසේ කියා ඇත.

‘එදා ක්‍රියාත්මක වුණු ගජමිතුරු හොර කල්ලියේ වැඩපිළිවෙළ නිසා, ගසා කෑම නිසා, අන්ත දූෂිත ක්‍රියාදාමයන් නිසා, හොරකම් නිසා මෙම වැඩබිම සහමුලින්ම විනාශ මුඛය කරා ගියා. එදා ඇමැතිවරයා ප්‍රමුඛ හොර කල්ලිය ගජමිතුරු සංගමයක් හරහා විදුලි සැපයුම ලබා ගැනීමේදී ලක්‍ෂ දෙසීය හැත්තෑවක හොරකමක් සිදු කරලා තියෙනවා. "චෙක් විත් ඕර්ඩර්" නැතිනම් ඇණවුම සමඟ චෙක්පත යන ක්‍රමය යටතේ ලක්‍ෂ 270ක් ජයලත් කන්ස්ට්‍රක්ෂන් ආයතනයටත් රුවන් ට්‍රේඩ් සෙන්ටර් ආයතනයටත් සල්ලි ගෙවල එක අබමල් රේණුවක විදුලි සැපයුමක් ලබා දීලා නැහැ. ඒක ලොකු හොරකමක්.
හොරණ ගල්පාත කාපට් වැඩබිම ගැන කතා කිරීමේදී


මම කියනවා මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ විමල් වීරවංශ ප්‍රමුඛ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හොරා කාපු කල්ලිය, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සංස්ථාව සමූහ දූෂණයට ලක්කරපු දේශ හිතෛෂී කියන හොර කල්ලිය තමයි මේ වගකීම භාරගත යුත්තේ.
මේ ප්‍රධාන වැඩබිම අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුව තමයි රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව පසුගිය කාලෙ සම්පූර්ණයෙන්ම හිටපු ඇමැතිවරයා ප්‍රමුඛ හොර කල්ලිය තමන්ගේ පෞද්ගලික බූදලයක් වගේ මේ ආයතනය විනාශ කිරීම.
නිලරථ හිමිනොවෙන නිලධාරීන් සඳහා ආයතයනය වාහන අරගෙන තියෙනවා කුලී පදනමට. මුළු අලාභය ලක්‍ෂ හයසිය අනූපහයි. මිලියන 69.5යි.
ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව වැඩිමිලට යකඩ මිලදී ගැනීමෙන් ආයතනය පාඩු ලබල තියෙනවා මිලියන තිස් එකක්. ඉහත සඳහන් ලක්‍ෂ හයසිය අනූපහේ හොරකම පිළිබඳ මේ වනවිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවෙන් විමර්ශනයට ලක්කරමින් තියෙනවා.
ඒ වගේම කලින් සඳහන් කළ යකඩ මිලදී ගැනීමේ හොරකම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්‍ෂණයකට භාජන වෙනවා. ඒ වගේම ගල්පාත ඇස්පෝල්ට් (කාපට්) ඇතිරීම සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලක්‍ෂ දෙසිය හැත්තෑවක වංචාවක් වෙලා තියෙනවා. මම සඳහන් කරපු චෙක් විත් ඕර්ඩර් ඇණවුම සමඟ චෙක්පත් ක්‍රමය හරහා සල්ලි යවල තියෙනවා.‘