දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව FCID-CID-අල්ලස් කොමිසම් හැසිරෙන බව කියමින් පසුගියදා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ ඊයේ (13දා)
පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී විමරල් වීරවංශ මෙසේ කියා ඇත.

‘අපි නම් නෙවෙයි. මේ චෝදනා එල්ල කරන්නේ කාටද?

එක්කෝ එතුමට එල්ල වෙන චෝදනාවලින් මිදෙන්නට නැත්නම් චෝදනාව වෙන කාටහරි දාන්න. නැත්නම් චෝදනාව අයිති කෙනාට ඉදිරිපත් කරන්න ඕනේ. වක්‍රාකාරයෙන් චෝදනා කරන්නේ කාටද? අගමැති රනිල් වික්‍රමසිංහට බව පැහැදිලියි. අපි ජනවාරි 8ට කලින් කිව්වා. මේ කට්ටිය බලය ගත්තොත් ආඩි හත්දෙනාගේ කැඳ හැළියට හපන් වෙනවා කියලා. ආණ්ඩු හැටක් විතර දැන් තියෙනවා. සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවයි. වික්‍රමසිංහගේ ආණ්ඩුවයි ආණ්ඩු දෙකයි.
 ඒ වැරැද්ද නිවැරැදි කරන්න බැරි නම් එතුමා ඔප්පු කරලා පෙන්වනවා එතුමා රටේ ජනාධිපති වුණාට රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. අගමැති වික්‍රමසිංහ මැතිතුමාට අපි අභියෝග කරනවා ඔබව ඉලක්ක කරලයි මේ ප්‍රහාරය එන්නේ. රටේ ජනාධිපතිටත් වඩා සී. අයි. ඩී. එක අහන අනිත් කෙනා කවුද? ජනාධිපතිතුමා නහයෙන් අඬ අඬ වක්‍රාකාරයෙන් කියන්නේ මේවා මෙහෙය වන්නේ අගමැතිතුමා කියලා නෙවෙයිද? එහෙම නම් අගමැති වික්‍රමසිංහ මීට පිළිතුරු දිය යුතු නැද්ද? රටේ ජනාධිපතිවරයා රටේ අගමැතිවරයා ඉලක්ක කරගෙන කරන මේ චෝදනාව ඉතා බරපතළයි. ජනවාරි 8ට කලින් මේ කැඳ හවුල හැඩ ගස්වන්න ආපු වේෂ නිරූපණ ශිල්පීන්ගෙන් අපි අහනවා මේ ජවනිකා බල බල දැන් නින්ද යනවද කියලා?‘