කැබිතිගොල්ලෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණ අමුතු ආකාරයේ පැමිණිල්ලක් කර තිබෙන්නේ සාමණේර ස්වාමීන් වහන්සේ නමකි. තමා ළග දැනට නැවතී සිටින තම ගිහි නිවසේ 11 හැවිරිදි බාල සහෝදරයාට සිදුවන හිංසනයක් ගැන එම පැමිණිල්ලේ දැක්වේ.

මව රණ්ඩුසරුවල් කරන නිසා ඇය සමඟ අමනාපව තම පියා ඇගෙන් වෙන්ව ජීවත් වන බව පවසන එම ලිපියේ මල්ලී මව සමග සිටියදී  දිනපතාම රාත්‍රියේ නිදි පෙති ලබා දී ඔහු නිදි කරවා මව අනියම් සැමියකු නිවෙසට ගෙන්වා ගනිමින් ඔහු සමඟ අනියම් සබඳතා පවත්වමින් සිටින බවත් නිරන්තර නිදිපෙති භාවිතය නිසා බාල මල්ලි අසීමිත ලෙස මහත් වීමට පටන් ගෙන ඇති බවත් ලියා ඇත.



බාල මල්ලි වෙනුවෙන් පියා මාසිකව රුපියල් පන්දහස බැගින් නඩත්තු මුදලක් මවට ගෙවන බවත් එම මුදල් මව විසින් මල්ලිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් නොකර වියදමට ගන්නා බවත් දන්වා ඇත. බාල මල්ලි නිවෙසේ තබාගෙන සිටින්නේ නඩත්තු ලබා ගැනීමේ අරමුණින් මිස ඔහුට ඇති සෙනෙහසක් නිසා නොවන බවද පැමිණිලි කර ඇත.
මේ හේතුවෙන් තමා නිවසින් පන්සලට මල්ලීව රැගෙන ආ නමුත් මෙයට විසඳුමක් අවශ්‍ය බව එහි සටහන්ව ඇත.

ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කීර්තිරත්න මහතා මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයේදී සාමණේර හිමියන්ගේ පැමිණිල්ල සත්‍යයක් බව 11 හැවිරිදි පිරිමි දරුවාගෙන් ලබාගත් ප්‍රකාශවලින්ද තහවුරුවී ඇත.
පොලිසිය මේ ගැන වෙනම විමර්ශනයක් සිදු කරගෙන යයි.