බස්නාහිර පළාතේ සියලුම පාසැල් වෑන්රථ රියදුරන්ගේ අක්ෂි පරික්ෂා කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් දෙසැම්බර් මාසයේ මුල් සතියේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
මෙම වැඩපිළිවෙල පසුගිය 2015 වසරේ

බස්නාහිර පළාතේ ආරම්භ කළ බවත් එහි දී රියදුරන් බොහෝ දෙනෙකු ඇස්වල පෙනීම නිසි පරිදි නොතිබූ බැවින් ඔවුන්ට අවශ්‍ය ඇස් කණ්නාඩි ලබා දීමට කටයුතු කල බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
කරන ලද පරික්ෂා කිරීම් වලදී රියදුරන්ගෙන් බහුතරයකගේ ඇසේ සුද තිබූ බවත් ඇතැමුන්ට දුර හා ළඟ පෙනීමේ ආබාධ ද තිබු බවත් හෙලිවූවේ යැයි ඔහු කියාසිටියේය.
පාසැල් වෑන් රථවල ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව සඳහා මෙසේ  රියදුරන්ගේ ඇස් පරික්ෂා කිරිමේ වැඩ සටහන ආරම්භ කල බවත් එමගින් මාර්ග අනතුරු සංඛ්‍යාව අවම කිරීමට අදහස් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
බස්නාහිර පළාතෙන් ආරම්භ කරන මෙම වැසසටහන ඉදිරියේදී අනෙකුත් පළාත්වල පාසැල් වෑන් රථ රියදුරන් වෙනුවෙන්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.