තම විවාහක බිරියට අයුතු ලිංගික අපයෝජනයක් හා වධ හිංසා කරන ලද බැද්දේවෙලවත්ත මාකෙහෙල්වල පදිංචි 42 හැවිරිදි අයකුට බරපතළ වැඩ සහිතව වසර 5ක සිරදඬුවම් හා රුපියල් පන්දහසක දඩයක්ද කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියෝග කළේය..
මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ මූලික නඩු විභාගයකින් පසුව නීතිපතිවරයා විසින් ගොනු කළ අධි චෝදනා පත්‍රයක් මඟින් කෑගල්ල මහාධිකරණයට යොමු කර තිබිණි. මෙම නඩුවේ පැමිණිලිකාරිය වූයේ චූදිතගේ විවාහක බිරියය. ඇය 37 වැනි වියේ පසුවිය. පැමිණිලිකාරිය විසින් මෙයට හය මසකට පෙර එනම් 2016.06.30 වැනි දින පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව සඳහන් කර තිබුණේ


අපට දරුවන් තිදෙනකු සිටිනවා. වැඩිමහල් දුවට අවුරුදු 10යි. දෙවැනි පුතාට අවුරුදු 9යි. බාල දියණියට අවුරුදු 6යි. තිදෙනාම පාසල් යනවා.
මිතුරු හමුවකදී පුරුෂයා හඳුනාගත්තා. මම ගෙදරට හොරෙන් මගේ ගම දන්කොටුවේ සිට මේ ප්‍රදේශයට ඔහු සමඟ ආවා. අපි පොලිසියට ගොස් නීතියෙන් විවාහ වුණා. ඔහුට දාව මට දරුවන් තිදෙනකු සිටිනවා.
මම ඉතාමත් දුක් විඳිමින් ඔහුගේ හිරිහැර ඉවසමින් වසර 12ක් පමණ විවාහය රැකගෙන ආවා. (ඇය සිදුවන හිංසාවන් විස්තර කරයි- මාධ්‍යයක පළකිරීමට අපහසු තත්වයේ ඒවාය)

පින්නවල සත්තු වත්තේ මේසන්වරයකු ලෙස සේවය කරන ඔහු මත්පැන් හා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටිනවා.
නීතිපතිවරයා වෙනුවෙන් නඩුවේ පැමිණිල්ල රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය විසින් මෙහෙය වන ලද අතර විත්තිකරු වෙනුවෙන්ද රජයෙන් පත් කළ නීතිඥවරයකු කරුණු දැක්වීය.

කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ