ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කතානායක නිල අසුනෙහි පාර්ලිමේන්තුවේ ඉන්ජිනේරු සමන් පෙරේරා අනවසරයෙන් අසුන්
ගෙන ඇති බවට කතානායකවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙහි පවිත්‍රතා කටයුතු සිදු කර නිම වන තෙක් එම පිටස්තර පුද්ගලයා කතානායක අසුනෙහි වාඩි වී සිට ඇති බවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ, කතානායකවරයා වෙත ඊයේ (17දා)

ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පෙරේදා (16දා) පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමෙන් පසු එම ක්‍රියාවලිය සිදුවී ඇති බව මන්ත්‍රිවරයා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක, කතානායකවරයාට වෙන් කර ඇති අසුනෙහි මෙසේ වෙනත් අයකු අසුන් ගැනීම කතානායකවරයාට මෙන්ම ගරු පාර්ලිමේන්තුවට හා සමස්ත ජාතියටම කරනු ලබන අපවාදයක්, අගෞරවයක් බව එම ලිපියෙහි පෙන්වා දී ඇත.

මේ පිළිබඳව කතානායකවරයාගේ අවධානය යොමු කරවන ලෙසත්, මෙය ඉදිරි පූර්වාදර්ශයකට ඉඩ නොතබන ලෙසත් රංජිත් අලුවිහාරේ මන්ත්‍රිවරයා විසින් ලිපිය මඟින් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.


දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා