කලින් පිරිමියෙක් දැන් ගැහැණියක්
සයපෙති කුසුමේ රඟපාන
සංක්‍රාන්ති ලිංගික නිළිය භූමි කතා කරයි
මේ දිනවල සිනමා ශාලා කිහිපයක තිරගත වන සයපෙති කුසුම සමලිංගික ආදර කතාවක් තේමා කර ගත් චිත්‍රපටයකි. එම චිත්‍රපටයෙන් කරළියට එන භූමි හරේන්ද්‍රන් යනු කලින් පිරිමියෙකුවී දැන් ගැහැණියක බවට සංක්‍රාන්ති ලිංගිකත්වයට පත්වූ අයෙකි. ඇය චිත්‍රපටයේ චරිතයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේද මෙම වෙනසට ලක්වූ අයෙකු වීම
විශේෂ කාරණාවකි.
සංක‍්‍රාන්තික ලිංගික කාන්තාවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් මානව හිමිකම් ක‍්‍රියාකාරිනියක ලෙසද ඇය පෙනී සිටින්නියකි.
ඇය සිය අත්දැකීම් මෙසේ කියන්නීය.
සංක‍්‍රාන්තික ලිංගිකත්වයට පත්වුණු කෙනෙක් විදිහට මෙහි රඟපාද්දි මට කිසිම වෙලාවක බාධාවක් ඇති වුණේ නැහැ.ඔවුන් මනුෂ්‍යත්වයෙන් පිරුණු කණ්ඩායමක්.
මට සමාජයේ සංක්‍රාන්ති ලිංගිකයෙක්වීම ගැන යම් යම් ගැටලු තිබෙනවා.පුද්ගලයාගෙන් පුද්ගලයාට ලැබෙන ප‍්‍රතිචාරය වෙනස්. අපේ ගෙදරින් වුණත් ඒ තත්වය මතුවුනා.මමයි, අමම්යි, තාත්තයි, අක්කයි තමයි නිවසේ ඉන්නේ. ගෙදර අය මාව මේ විදිහට පිළිගන්න කැමති වුණේ නැහැ.
මට ලොකු අභියෝගයක් වුණා. මගේ අම්මා තාත්තා ඒ වෙනස පිළිගන්න කැමති වුණේ නැහැ.පිරිමියෙකු සතු සම්පූර්ණ පෞරුෂය මා තුළ නැතිවුණත් එයාලට තවදුරටත් අවශ්‍ය වුණේ මාව පුතෙක් විදිහට
දකින්න මිසක් දුවෙක් විදිහට දකින්න නෙවෙයි. නමුත් මට මගේ ජීවිතේට අරමුණක් ඕන වුණා. මේ වෙද්දි මම සැත්කමක් තුළින් ලිංගික සංක්‍රාන්තියකට පත්වෙලා ඉන්නවා. ඒ දේවල් නිසා අම්මා තාත්තා මාව
අතෑරියා. මම දන්නවා එයාලා නෙවෙයි මාව අතෑරියේ. සමාජය ඒ තැනට ඔවුන්ව තල්ලු කළා.
වසර පහක කාලයක් මම පවුලෙන් බැහැරවෙලා තනියම ජීවත් වුණා. ගොඩක් සතුටුයි වසර පහකට පසුව නැවත මට මගේ ගෙදර අයත් එක්ක එකට ජීවත් වෙන්න අවස්ථාව ලැබුනා. ඔවුන් මාව තේරුම් ගත්තා.අපි කොච්චර විනෝදෙන් ජීවත් වුණත් සමාජයේ එල්ලවෙන බලපෑම් නිසා පුංචි පුංචි ප‍්‍රශ්න මතු වෙනවා.
සයපෙති කුසුම චිත‍්‍රපටය වුණත් මේ නිර්මාණය සමලිංගිකත්වය පිළිබඳ තිරයෙන් පිටුපස තියෙන දැවෙන ප‍්‍රශ්නයක් කතා කරනවා. ඉහල ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. සමාජය විවිධාකාරයි.
ලිංගික සංක්‍රාන්තියකට මුහුණ දීම අභියෝගයක් කිව්වොත් නිවැරදියි. එවැනි පුද්ගලයකු දෙස සමාජය බලන්නේ හරිම පටු විදිහටයි. නමුත් එය එම පුද්ගලයාගේ වරදක් නෙවෙයි. පුද්ගලයකුගේ ලිංගිකත්වය තීරණය වෙන්නේ මව්කුසේදිමයි. ඒ ලිංගිකත්වයේ අසාමාන්‍ය බව සමග මෙලොවට බිහිවෙන දරුවා අමුතු සමාජ සත්ත්වයෙක් විදිහට සලකන එක කොයිතරම් දුරට සාධාරණයිද?
ඒ වරදට ඒ දරුවවත් ඔහුගේ දෙමාපියන්වත් වරදකරුවන් නෙවෙයි. නමුත් කුඩා වියේ ඉඳලම එහෙම දරුවෙකුට සමාජයෙන් ලැබෙන්නේ අපහාස අවලාද විතරයි. ඒ දරුවා වැඩිහිටි වියට පත්වෙන්නෙත් ඒ තත්ත්වය තුළමයි. කුඩා වියේදී පවුලෙන් තමන්ගේ සහෝදර සහෝදරියන් අතරම කොන්වෙන ඒ දරුවට පවුලේ ආදරය ලැබෙන්නෙ අඩුවෙන්. පාසලේදී එහෙම දරුවෙකුට ඉගෙනගන්න යහපත් පරිසරයක් ලැබෙන්නෙ නැහැ.
මේ ජීවිතය හැමදාටම අභියෝගයක් කියලයි මට හිතෙන්නෙ. ඉස්සර මම මගේ වෙනස නිසා දුක් වුණා. ලිංගික සංක්‍රාන්තයකට යොමුවුණාට පස්සෙත් මගේ ජීවිතේ අභියෝග නැතිවෙලා නැහැ. මගේ සුදුසුකම්වලට හරියන රැකියාවක් හොයාගන්න ගියත් මිනිස්සු ප්‍රශ්න කරන්නෙ කතා කරන්නේ මගේ සුදුසුකම් ගැන නෙවෙයි. ලිංගික සංක්‍රාන්තියට මුහුණ දුන්නෙ කොහොමද? ඒ සැත්කම කළේ කොහොමද? කියන දේවල් ගැනයි.
සමාජයේ සමහර කොට්ඨාසවලට සංක‍්‍රාන්ති ලිංගිකත්වය කියන දේ විශාල ප‍්‍රශ්නයක් වුණත් යම් යම් කොට්ඨාසයන් තුළ ලොකු පිළිගැනීමකුත් තියෙනවා.
මාව හරියටම තේරුම් ගත්ත උදවියත් ඉන්නවා. ඇත්තටම මම කෙනකුට ආදරය කරනවා. විවාහ වෙන්න අදහසක් තියෙනවා. ඒත් ඒක ස්ථාවර ආදර සම්බන්ධයක්ද කියන තැන තවම අපි නැහැ. අදහස් අනුව අපි දෙන්නා ගොඩක් ගැලපෙනවා කියලා හිතනවා.