කුරුණෑගල මාස්පොත හෝටලයක් අසලදී පෙරේදා (16දා) රාත්‍රි වෙඩි තබා උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකළ මොරටුව 'රොනා' නමින් හඳුන්වන පාතාල නායකයා හෝටලයේ රැඳී සිට ඇත්තේ නුවරට ගිය සිය බිරියගෙන් දුරකතන ඇමැතුමක් ලැබෙන තුරු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සිය බිරිය සමඟ නුවර ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන සැඟවී සිටි මෙම සැකකරුට එහි රැඳී සිටීම අනතුරුදායී බවට ලැබුණු ඉඟියක් නිසා ඔහු පදිංචි ස්ථානයෙන් පිටව යෑමට නිවෙසේ තිබූ බඩු ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට බිරිය පිටත්කර යවා තිබිණි.

බිරිය බස් රියෙන් නුවරට පිටත් කළ සැකකරු මෙම හෝටලයේ රැඳී සිට ඇත්තේ බිරියගෙන් දුරකතන ඇමැතුමක් ලද විගස කුරුණෑගලින් ලොරියක් ගෙන සිය සගයා සමඟ නුවර බලා යෑමට බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.


මෙම පාතාල නායකයා 2002 වසරේ සිට අපරාධවලට හවුල් වීමට තුඩු දුන් හේතුන් මෙන්ම ඔහු අපරාධකරුවකු බවට පත්වූ අන්දම පිළිබඳ පසුබිම් විස්තර පොලිසිය හෙළි කර ඇති අතර මෙම වෙඩි තැබීම සිදුකළ දිනයේ ඔහු සමඟ සිට පැනගොස් ඇත්තේ මෙම සැකකරු සමඟ සිරදඬුවම් විඳ නිදහස්ව පැමිණි ඔහුගේ ගෝලයකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ අපරාධයට යොදාගත් හයිබි්‍රඩ් මෝටර් රථයේ මුල් අයිතිකරු හිමිනමක් බවද කුලී රථ සේවාවකට ලබාදී තිබූ මෙම මෝටර් රිය සැකකරු අතට පත්වූ අන්දම ගැන සෙවීම සඳහා එම කුලීරථ සේවාවේ හිමිකරුවන්ද පොලිස් පරීක්ෂණ සඳහා ඊයේ කොළඹට කැඳවා තිබිණි.

පසුගිය 2012 වසරේ රටින් පලා ගොස් ඇති මෙම සැකකරු පිටරටක සිට දුරකතනයෙන් මෙරට සිටින කුඩු ජාවාරම්කරුවන් සමඟ කුඩු ජාවාරම් කළ අන්දම ගැනද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

2012 දෙසැම්බර් 31 වැනි දින දෙහිවල ප්‍රදේශයේදී සිදු වී ඇතැයි කියන ඝාතන සිද්ධියකදී වරද කාගේද යන්න ගැන නොසොයා මෙම සැකකරු බන්ධනාගාරගත කළ අන්දම ගැනත් එතැන් සිට ඔහු පාතාල ලෝකයට ඇද වැටුණ ආකාරයත් ගැන 'රොනා' පොලිසියට දිගු විස්තරයක් ලබාදී තිබේ. මෙම පාතාල නායකයා සමඟ සිට පලාගිය අනෙක් සැකකරු සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.


ප්‍රේමලාල් විජේරත්න