නීත්‍යනුකූල බිරින්දෑවරුන් තිදෙනකු විසින් අයිතිවාසිකම් ඉල්ලා සිටි රිය අනතුරකින් මියගිය සැමියා යැයි කියන පුද්ගලයාගේ දේහය ඔහුගේ මවට භාර දෙන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඊයේ (16දා) නියෝග කළේය.

යක්කල - කිරිඳිවැල පාරේදී යතුරුපැදිය අනතුරට ලක්වීමෙන් මාකිරිගල සරත් බණ්ඩාර (45) නමැති ව්‍යාපාරිකයා මිය යෑමෙන් පසු තමන් ඔහුගේ බිරිය යැයි කියමින් කාන්තාවන් තිදෙනකු මරණ පරීක්‍ෂණයේදී ඉදිරිපත් වූයෙන් පොලිසිය මෙය අධිකරණයට යොමුකර තිබිණි.

ඒ අනුව කාන්තාවෝ තිදෙනෙක් 16දා

අධිකරණයේදී සිය විවාහ සහතික නීතිඥ මාර්ගයෙන් ඉදිරිපත් කළහ. එහිදී පළමු විවාහක කාන්තාව සහ මියගිය අයගේ මව කළ ඉල්ලීම මත දේහය මියගිය අයගේ මවට භාරදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මියගිය අයගේ මවගේ ගම වන රඹුක්කන පහලකොටුවැල්ල සුසාන භූමියේදී අද (17දා) අවසන් කටයුතු කිරීමටද අවසර ලබාදෙමින් අවහිරයකින් තොරව සාමකාමීව අනෙක් කාන්තාවන් දෙදෙනාටද අවසන් කටයුතුවලට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තමාගේ පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු කිරීමට එකඟද යැයි විනිසුරුවරයා මියගිය අයගේ මවගෙන් විමසූ විට ඇය "ඔව්" යැයි කීවාය. කාන්තාවන් තිදෙනා වෙනුවෙන් නීතිඥ නිරංජන් ප්‍රසාද්, එම්.ආර්. පෙරේරා සහ නීතිඥ වසන්තා ගුණසේකර සහ නීතිඥ අමරානි මුදලිගේ මහත්මිය පෙනී සිටියාය.

ගම්පහ - එන්. ජයශ්‍රී, කේ.එම්. සිසිර කුමාර, මිනුවන්ගොඩ - අතුකෝරල