රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වීමට පැය කිහිපයකට පෙර ඔහුගේ සමීපතම මිතුරකු වන අහමඩ් සෆාස්ගේ දුරකථනයට ලද ඇමතුම් කිහිපයක් සම්බන්ධව විමර්ශන සිදු කරන බවත් එම
විමර්ශනය තුළින් මෙම සිද්ධිය සම්බන්ධව වැදගත් සන්ධිස්ථානයකට ඉදිරියේදී එළඹිය හැකි බවත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ගිශාන්ත පීරිස් මහතාට ඊයේ (16) දැන්වීය.


මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අය බන්ධනාගාරය මඟින් ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් මෙම මස 30 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ රඳවා තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (16) නියෝග කළේය.

රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන ඒකකය මඟින් සිදු කරන ලද පරික්ෂණ සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කළේය.