ජල ගාස්තුව සියයට 30කින් ඉහළ නැංවීමේ යෝජනාව අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට නියෝග කර තිබේ.
ජල ගාස්තු සියයට 30කින් වැඩි කිරීමට තමා

කිසිසේත් එකඟ නොවන බවද ජනාධිපතිවරයා එම රැස්වීමේදී අවධාරණය කර ඇත.
සියයට 30කින් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමෙන් පසු ඒ ආකාරයට ගාස්තු වැඩිකිරීමට හේතු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
පිරිසුදු පානීය ජල ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සිටින දසදහසකට අධික සේවක සංඛ්‍යාවට අධික වැටුප් හා ඉහළ බෝනස් මුදල් ගෙවීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීමද මෙයට හේතු වී ඇති බව ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කර ඇත.

ජල ගාස්තුව කිසියම් අගයකින් ඉහළ නැංවිය යුතු වුවත් එය සියයට 30ක් වැනි ඉහළ අගයක් නොගතයුතු බව මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරුන්ගේ මතය වී තිබේ.
ගාස්තුව ඉහළ නැංවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සෑම අංශයකින්ම අධ්‍යයනය කොට වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ලබාදීම සඳහා කැබිනට් අනුකාරක සභාවක්ද පත් කරනු ලැබ ඇත. විෂය භාර ඇමැති රවුෆ් හකීම් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.