කොළඹදී නං කවුරුවත් ඇල්ලුවෙ නෑ - මේක මාස කීපයයි මෙහෙ පදින්නේ
මාතරදී පොලිසියට හසුවූ කෝටි 20 හමර් රථයේ හිමිකරු කියයි
ඇමරිකාවේ නිෂ්පාදිත රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් අංක තහඩු නොමැති හමර් වර්ගයේ ජීප් රථයක් පසුගිය 20 වනදා මාතර ප්‍රදේශයේ ධාවනය වෙමින් සිටියදී නවතා පොලිසිය මගින් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.
වම් පසින් ධාවනය කරන මෙම වාහනය පදවා යද්දී නීතියට අනුව ‘ධාවනය වමෙන්‘ යයි සටහනක්ද නොතිබූ බව වාර්තා විය.
මාතර බස් නැවතුම්පොළ ආසන්නයේදී
මේ හමර් රථය නවතා කොහේ යනවාදැයි ඇසූ විට කොළඹ සිට තමන් කතරගම දේවාලයට යන බව එහි සිටි තිදෙනා පිළිතුරු දී ඇත. මෙම රථයේ හිමිකරු ලංකාවට වාහන ගෙන්වන සුප්‍රකට සමාගමක හිමිකරුගේ පුත්‍රයා වූ අතර වාහනයේ සිටි අනෙක් දෙදෙනා ඔහුගේ මිතුරන් විය.
රුපියල් කෝටි 20කට අධික වටිනාකමින් යුක්ත අංක තහඩු නොමැති ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම හමර් රථයේ ලියාපදිංචිය පිළිබඳව විමසීමේදී ව්‍යාපාරිකයාගේ පුත්‍රයා පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ මෙම හමර් රථයට මෙරට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අංකයක් ලබාගන්නට අදහසක් නොමැති බවයි.
හමර් රථය මෙරට ධාවනය කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තාවකාලික අවසරපත්, එය රේගුවෙන් නිදහස් කළ ලියකියවිලි සහ තාවකාලික රක්ෂණ ලියකියවිලි පොලිස් නිලධාරීන්ට ඔහු පෙන්වා තිබේ.
එම ලියකියවිලිවලට අනුව එම රථය මාස තුනක කාලයකට මෙරට ධාවනය කිරීමට අවසර හිමිව තිබූ නිසා රථය මුදා හැරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් එම රථය වමෙන් පදවන්නක් වූ නිසා මෙරට නීතිය අනුව වාහනයේ ඉදිරිපස සහ පිටුපස ඒ බවට සංඥා පුවරු ප්‍රදර්ශනය කළ යුතු වුවත් එසේ කර නොතිබීම ගැන අවවාද ලබාදී ඇත.
‘කොළඹ මම දවස් ගාණක් මේ වාහනේ එළෙව්වා. ඒත් කවුරුවත් කවදාවත් නතර කරලා නැහැ.මාතරදි විතරයි මෙහෙම වුනේ..‘ කෝටිපති පුතා පොලිසියට පවසා ඇත.