කතානායක කරු
අහිමි දුව වෙනුවෙන් පිළිකා අසරණයන්ට
පිහිට වන මධ්‍යස්ථානයක් අරඹයි


පසුගියදා ලෝකයේම කථාබහක් ඇතිකරමින් අවාසනාවන්ත ලෙස අඩු වයසින් පිළිකා රෝගයෙන් මියගිය කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියක වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය වෙනුවෙන් පිළිකා සරණ භාරය නමින් මධ්‍යස්ථානයක් කතානායවරයා මුල්වී මහරගම පිළිකා රෝහලේදී පිහිටුවා තිබෙන අතර ඊයේ එය විවෘත වුණා.
තමාට හෝ තමාගේ සමීපතමයකුට
පිළිකාවක් වැළඳී ඇති බවට ආරංචියක් ලැබුණහොත් තමාට අත්වෙන මානසික ව්‍යාකූලත්වයෙන් මිදීමටත්, ලබාගත යුතු උපදේශන සේවාවන් ලබා ගැනීමටත් දුරකථන අංක 0112363211 ඇමැතිය හැකි අතර මේ පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමතුම් සේවාව සෑම දිනකම උදේ 7 සිට රාත්‍රී 7 දක්වා නොමිලේ ක්‍රියාත්මක කෙරේ.

පිළිකා සරණ භාරය ව්‍යාපෘති තුනකින් ක්‍රියාත්මක අතර, එහි පළමු පියවර ලෙස ‘පිළිකා සරණ ඇමතුම් සේවාව’ ක්‍රියාත්මක කෙරිණ. සෙසු ව්‍යාපෘතීන් වන ඉන්දිරා උපකාරක සේවය සහ ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවය ඉදිරි කාලය තුළ දී ක්‍රියාත්මක කෙරේ.

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සඳහා මැමෝග්‍රැෆි යන්ත්‍රයක් පළමුවෙන්ම ගෙන්වා ඉන්දිරා උපකාරක සේවය ආරම්භ කරන බවත් ඉන්පසුව පළාත් හා දිස්ත්‍රික් මට්ටම දක්වා මේ යන්ත්‍ර බෙදා හැරීම සිදු කිරීමට නියමිත බවත් කියැවුණා.

කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මේ සේවාව ආරම්භ වූ අතරමේ අවස්ථාවට ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් මහතා සහ ඇගේ දරුවන් දෙදෙනා ද, පවුලේ ඥාතීන් ද එක්වීම විශේෂත්වයකි.









(Pix Courtesy By -lankadeepa.lk & mawbima.lk)