චැනලින් කරන අතරවාරයේ මනෝ වෛද්‍යවරයාට
මානසික රෝගියා පිහියෙන් අනියි

කොළඹ නවලෝක රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන (චැනලින්) සේවා සිදුවන අතරවාරයේ ඊයේ රෝගියෙකු මනෝ වෛද්‍යවරයකුට පිහියකින් ඇන පළායන්නට තැත් දැරීමේ සිදුවීමක් නිසා කලබලයක් හටගත්තා.
ඊයේ (30 වැනිදා) සවස 4 ට පමණ එම රෝහල තුළ සුපුරුදු පරිදි සායන කටයතු ඇරඹීමෙන් පසු වෛද්‍යවරයා හමුවීමට
පැමිණෙන රෝගී නාම ලේඛනයට ඇතුළත්ව සිටි මෙම රෝගියා තමන්ගේ වාරය අඬගසා වෛද්‍යවරයා වෙත යන්නට අවසරය ලද අවස්ථාවේ එම කාමරයට ගොස් සඟවාගෙන සිටි පිහියකින් වෛද්‍යවරයාට ඇණගෙන ඇණගෙන ගොස් ඇත්තේ ඔහු මරාදමන අටියෙනි.

වෛද්‍යවරයා මනෝ වෛද්‍ය උපදේශනයේ

යෙදෙන්නෙකු නිසා රෝගීන්ගේ පුද්ගලික ප්‍රශ්න කිසිවෙකුට නොදැනෙන්නට තනිව කාමරයේ වෙසෙමින් පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කර තිබුණ අතර මේ නිසා මෙම රෝගියා සිදු කරන දේ දකින්නට හෝ වළක්වන්නට හෝ කිසිවෙකු සිට නැත.

එම අවස්ථාවේ බරපතල ලෙස පිහිඇනුම් 10 කින් පමණ තුවාලවූ වෛද්‍යවරයා කෑගසා ඇති අතර එය ඇසී රෝහල් හෙදියන් හා අනෙක් රෝගීන් ඒවෙත එද්දී පිහිඇනුම සිදුකළ තැනැත්තා පළායන්නට උත්සාහ කර ඇත. පසුව රෝහල් ආරක්ෂකයින්  ඔහු වටළා අල්ලාගෙන පොලිසියට භාරදී තිබේ.

බරපතල තුවාල ලද මනෝ වෛද්‍ය රෝෂන් මහේන්ද්‍ර මෙන්ඩිස් (41) මහතා එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලදි.
පිහි ඇණුම කර ඇත්තේ රත්තනපිටිය බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකු බවත් ඔහු මෙකී වෛද්‍යවරයාගෙන් මින් ඉහත මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අයෙකු බවත් වාර්තාවේ.

ඔහුට මින් ඉහත දිනෙක වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ලද අවස්ථාවේ වදහිංසාවක් පැමිණවූයේ යයි ඔහු මින් පෙර චෝදනාවක් කර තිබුණ අතර ඒ බව කියමින් මීට ටික දිනකට පෙරද  මේ ආකාරයටම කලින් පැමිණ බලා සිට වෛද්‍යවරයා කොරිඩෝරයේ ගමන් කරද්දී පහරදීමට තැත් කර තිබුණි. එම අවස්ථාවේ ආරක්ෂකයින් ඔහුව අල්ලා පොලිසියට භාරදෙන්නට සූදානම් වුවත් මොහුගේ මානසික තත්වය සම්බන්ධයෙන් අනුකම්පා කරන ලද වෛද්‍යවරයා එය දුරදිග නොයවන ලෙස උපදෙස් දී තිබුණි. මෙවර ඔහු කාමරයටම පැමිණ පිහි ඇනුම කර ඇත්තේ එම අවසරයෙන් දින කිහිපයකට පසුවයි.

සැකකරු අපරාධයට යොදා ගත් පිහිය ද සමඟ කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු වෛද්‍යවරයාගේ ගෙල ප්‍රදේශයට පිහියෙන් ඇන ඇතැයිද බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරයා ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයකට ලක්‌ කළ බවද රෝහල් ආරංචි හෙළි කර තිබේ.