ඇමැති ලක්ෂ්මන් යාපාගේ  පුතුගේ ලෑන්ඩ් කෘෂර් රථයට යතුරු පැදිකරුවෙකු යටවේ
-
ලක්ෂයක් ගෙවා මාරු


මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතුන් තිදෙනාගෙන් 32 හැවිරිදි එක් පුතෙකු ඊයේ (18) අලුයම 2.30ට පමණ අධික වේගයෙන් පදවාගිය බව කියන ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් නොසැලකිලිමත් ධාවනය නිසා කොළඹ පුරහල විහාරමහාදේවී උද්‍යානය අසළ මහාමාර්ගයේ
යතුරු පැදියක් හප්පා ඇති අතර ඒ නිසා එහි ගමන් ගත් තරුණයාට බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අනතුරට ලක්වූ පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන එම තරුණයාගේ පාදයක් දැඩි ලෙස තුවාල ලබා තිබෙන බවත් ඔහු ඒ වෙලාවේම ඊට ආසන්නයේ පිහිටි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන ලද

බවත් වාර්තා වුණි. සිද්ධියෙන් පසු ඇමති පුත්‍රයා පළා ගියේ නැති නමුත් සිද්ධිය ගොඩින් බේරාගන්නා

අටියෙන් අනතුරට ලක්වූ අයගේ ඥාති හිතවතුන් සමග කථාබස් කර ඇත. ඔහු කියා ඇත්තේ තමාට ලක්ෂ 4 ක වන්දි ගෙවිය හැකි බවයි. මේ වෙලාවේ අතේ තියෙන්නේ ලක්ෂ 1 ක් බව කියා එම මුදල ඥාතීන්ට ලබාදී ඇති ඔහු පසුව ඉතිරිය රැගෙන එන්නම් කියා නික්ම ගොස් ඇත. ඒ සඳහා ඇප ලෙස ඔහු සතුව තිබූ බව කියන ජාත්‍යන්තර රියදුරු බලපතක් ඥාතීන් භාරයට තබා ගොස් ඇත.

මෙම අනතුර සිදු කරන්නට පදවා ගිය ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථය මුදල් අමාත්‍යංශයට අයත් එකක් වූ අතර අනතුර වූ ස්ථානයේම වාහනය තබා ඇමති පුතා පිටව ගොස් තිබුණ අතර පසුව පැය කිහිපයකින් කුරුඳුවත්ත පොලිසිය එම අමාත්‍යංශ වාහනය පොලිස් භාරයට රැගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් ලක්ෂ 3ක් රැගෙන එන බව කියා ගොස් සිටි ඇමති පුතා තවම ආවේ නැති බව කියමින් ඊයේ සන්ධ්‍යා කාලයේ අනතුරටපත් අයගේ ඥාතීන් පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනේ ඔහු ඇපයට තබා ගිය රියදුරු බලපතද ඉදිරිපත් කරමිනි.

කුරුඳුවත්ත පොලිසිය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.