වරාය සේවක වර්ජනය අවසන්
ඒත් නැව ඉල්ලන ඩොලර් ලක්ෂ 4 පාඩුව කවුද ගෙවන්නේ..
- අගමැති අසයි

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සේවකයින් ගෙන ගිය උද්ඝෝෂණය ඊයේ ඔවුන් සේවයට වාර්තා කාරීමත් සමග අවසන් විය. චීන සමාගම මගින් රැකියා ලබාදීමේදී ඔවුන්ගේ රැකියා සුරක්ෂිත වන බවද අනාවරණය විය කෙසේ වෙතත් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන්  “කේලයින්“ නැමැති නැව් සමාගම ඔවුන්ට සිදුව ඇති අලාභය සඳහා  ඩොලර් ලක්ෂ හතරක් ගෙවන්නැයි සඳහන් කරමින් බිලක් එවා ඇති බව
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
අදාළ මුදල ගෙවන්නේ කවුදැයි ප්‍රශ්න කළ අගමැතිවරයා එම නැව් සමාගම මෙන් තවත් නැව් සමාගම් පාඩුව ඉල්ලා සිටියහොත් එය විශාල ගැටලුවක් බව ඊයේ පෙන්වාදුන්නේය.ඔහු මෙසේ කියා ඇත.
‘මේ වර්ජනය ආරම්භ කළේ රැකියාව මූලික කරගෙනයි. හම්බන්තොට
වරායේ වැඩකටයුතු කරන්නේ වරාය අධිකාරියේ නොවේ. මාගම්පුර වරායේ සේවක කළමණාකාර සමාගම විසින්.

 දැන් හම්බන්තොට වරායේ කටයුතු  අලූත් සමාගමකට භාර දෙනවා. ඒ සමාගමේ එක කොටස් කරුවෙකු වන්නේ චයිනා මර්චන්ට් සමාගම. අනෙක් කොටස් කරුවා වන්නේ වරාය අධිකාරියයි.
ඉතින් වරායේ සේවකයින් තමන්ගේ රැකියා පිළිබඳව ප්‍රශ්නයක් මතු කර තිබෙනවා. ඇමතිතුමා ඒ පිළිබඳව සඳහන් කළේ චයිනා මර්චන්ට් සමාගම සමග කතා කරන බවයි.  ඒ අය පැවසුවේ වර්තමානයේ පවතින කොන්දේසි මත මේ සියලූ දෙනාම අලූත් සමාගමට බඳවා ගන්නා බවයි.

කෙසේ හෝ මේ පිරිස කොන්දේසි පිළිගත්තේ නැහැ. ඔවුන් පැවසුවේ වරාය අධිකාරියේ පත්වීම් ඔවුන්ට අවශ්‍ය බවයි.  කොළඹ වරායේ ජාතික සේවක සංගමය පැවසුවේ බෙලිඅත්තේ අයට කොළඹ රැකියා දීම වැඩක් නැති වැඩක් බවයි. දැනටත් හම්බන්තොට වරායේ අලාභය ගෙවන්නට සිදුවී ඇත්තේ වරාය අධිකාරියටයි.

මේ සේවකයින් වර්ජනය කරද්දී ජාත්‍යන්තර නැව් දෙකක් බලහත්කාරායෙන් රඳවා ගත්තා. මට  නැව් සමාගම් කතා කර පැවසුවේ එම ස්ථානයේ නැව් සිරවී ඇති බවත්,
ඒවා ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවත්. වර්ජකයින් අතින් ඒවාට හානිද සිදුවිය හැකි නිසා එම නැව් ආරක්ෂා කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

පසුගිය කාලයේ හම්බන්තොට වරායට නැව් පැමිණියේ නැති තරම්. නැව් තුන හතරක් ගෙන්වා ගත්තෙත් බොහාම ආයාසයෙන්. අනාගතයේ වරායේ දියුණුවත් සමග තවදුරටත් නැව් ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා. එවනි පසුබිමක නැව් බලහත්කාරයෙන් වරායේ රඳවා ගැනීම නිසා දැන් අපට කේලයින් නැව් සමාගමෙන් ඒ අයට සිදුවී ඇති අලාභය සඳහන් කර ඩොලර් ලක්ෂ හතරක බිලක් එවලා තිබෙනවා. දැන් මෙය ගෙවන්නේ කවුද? අනෙකුත් නැව්ද මෙලෙස සිදුවූ අලාභය ඉල්ලා සිටිය හැකියි.

මාධ්‍යෙව්දියාට ඇතිවූ ප්‍රශ්නය ගැන තංගල්ල පොලිසියට එක් වාර්තාකරුවෙක් පැමිණිල්ලක් දමා තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ පැමිණිලි කළ යුත්තේ හම්බන්තොට පොලිසියටයි. තංගල්ලේ තිබෙන්නේ ධීවර වරායක්.  මෙය ආරක්ෂක කලාපයක් එමනිසා වරායට ඇතුළුවන සියලූම දෙනා අවසර ගත යුතුයි. මෙම සිද්ධියට අදාළ මාධ්‍යවේදියා අවසර ලබාගෙන නොමැති බවටත් තවත් පැමිණිල්ලක් ලැබි තිබෙනවා. කවුරුන් හෝ  නීතිය කඩකර ඇත්නම් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. මේ අසීරු අවස්ථාවේ නැව් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව ඉටු කිරීම පිළිබඳව අපි නාවික හමුදාපතිටත් , නාවුක හමුදාවටත් ස්තුති කරනවා.‘