එළඹෙන පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි -20 ක්‍රිකට් තරගාවලියට අදාළව අන්තර්වාර කාල සීමාවක් සඳහා ඕස්ට්‍රේලියානු පිලේ සහාය පුහුණුකරු ලෙස රිකී පොන්ටින් පත් කිරීමටත් ඔහු සමඟ සහාය කාර්ය මණ්ඩලයට ජස්ටින්
ලැන්ගර් හා ජේසන් ගිලෙස්පි පත්

කිරීමටත් එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කුමන හෝ තනතුරක් හෙබවීමට කැමැත්තෙන් සිටි රිකී පොන්ටින් පසුගිය නොවැම්බර් මස, තමා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ යම් වගකීමක් භාර ගැනීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව රිකී පොන්ටින් ප්‍රමුඛ සහාය පුහුණු මණ්ඩලය පත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර ඔවුන් එම පත්වීම ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා විස්සයි -20 තරග මාලාව ඉලක්ක කර ගනිමින් කෙටිකාලීනව පත්කර ඇත. මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මඟින් නිකුත් කළ නිවේදනයකට අදහස් දක්වා ඇති රිකී පොන්ටින් පවසා ඇත්තේ මෙවැනි තනතුරක් ලැබෙන තුරු තමා දීර්ඝ කාලයක් බලා සිටි බවත් ජේසන් ගිලෙස්පි සහ ජස්ටින් ලැන්ගර් වැනි සම කාලීනයන් දෙදෙනකු සමඟ එක්ව වැඩ කිරීමට ලැබීම පිළිබඳව තමා සතුටට පත්වන බවත්ය.