‘ඩීජේ අරා‘ නමැති ලංකාවේ ප්‍රකට උදෑසන ගුවන්විදුලි වැඩසටහන ඉදිරිපත් කරන ජනප්‍රිය ගුවන් විදුලි  ශිල්පී අරවින්ද ලොකුගේ මේ වනවිට සේවය කරන හිරු ගුවන්විදුලි නාලිකාවෙන් පසුගිය සතියේ ඉවත්වී ඇති බව වාර්තා විය.
ඉදිරියේදී
අකුරු තුනේ එෆ් එම් නාලිකාවකට සම්බන්ධවී ඔහුගේ වැඩ කටයුතු යළි අරඹන්නට සූදානමින් පසුවන බවද වාර්තාවේ.
මින් කලතට ඉහත  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩීජේ අරා අප සමග පවසා සිටියේ ඔහුගේ විහිළු වැඩසටහන් නිසා ඔහුව විහිළුවට ලක්වී ඇති බවය. 2011 මැයි මස ඔහු මෙසේ කියා තිබේ.

ඔබේ වැඩසටහනට විහිළු හොයා ගන්නේ කොහොමද?
අපි කතාකරන විහිළු වලින් සියයට අසූවක් විතර මගේම අත්දැකීම් ඉතිරි විස්ස මං හදාගෙන කියන ඒවා.විවිධ ආකාරයේ විහිළු වැඩසටහන් තිබුණත් උදෑසන වැඩසටහනක් විදිහට මුලින්ම අපි තමයි මේ ක‍්‍රමය ගෙන ආවෙ.

සමහරු කියනව  ඕවට හිනා යන්නෙ නෑ කියල?
වෙන්න පුළුවන්.මං කියන ඒවට හැමෝටම හිනා යන් නැති බව මාත් දන්නව ඒත් සිය දෙනෙකුගෙන් පණහකට හිනා යනව නම් මං සාර්ථකයි.

ආරංචියක් තියනව ඔබ වැඩසටහනට කලින් විහිළු පරීක්ෂාවක යෙදෙනව කියල?
ඔව් මං සාම්පල් ටෙස්ට් කරනව.මගෙ කාර්යාලෙ මිතුරන් එක්ක හොයාගත්ත විහිළුව රසකරල කියල බලනව. ඔවුන්ට හිනා යන වගේ ඒව නම් පහුවදා වැඩසටහනට තෝරගන්නව.

ඔබ හාස්‍යයට ලක්කරන්නෙ සමාජයද?
නෑ ඇත්තටම මේකෙදි හාස්‍යයට ලක්වෙන්නෙ මම. මිනිස්සු හිනාවෙන්නෙ ඒකට.