ආණ්ඩුවේ නිල්පාට ගල් වගේම කොළපාට ගල් බුරුල් වී තිබෙන බවත් මේ මාසය තුළ තවත් ඇමැතිවරු දෙදෙනෙක් බොහෝ විට ආණ්ඩුවෙන් ඉවත් වීමට ඉඩ තිබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ඊයේ (02දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මෙසේද කීය.

"මේ ආණ්ඩුව ජනතා ද්‍රෝහී ආණ්ඩුවක් බව පෙනි පෙනී අමාත්‍ය
ධුර දැරීම ගැන පාක්‍ෂිකයන්ගේ විරෝධය එල්ල වෙද්දී අඳ, බිහිරි, ගොළු අය ලෙස අසංවේදීව ඉන්න උත්සාහ කරනවා නම් ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. පියංකර ජයරත්න ඇමැතිතුමා තමන්ගේ පාක්‍ෂිකයන් ආණ්ඩුවට ලබාදෙන ප්‍රතිචාර ගැන සංවේදී වුණ නිසයි එන පොට හොඳ නැත කියලා තේරුම් අරගෙන ඇමැති ධුරයෙන් අස් වුණේ.

 එතුමා අස්වෙන්න කලින් එතුමා අස්වෙන බව අපි දන්නවා. මේ ජනවාරියේ බොහෝ දුරට තව දෙන්නෙක් ඉවත් වෙන්න ඉඩ තියෙනවා. එක ගලක් ගැලවුණාම උඩ තියෙන ගල් ඔක්කොම බුරුල් වෙනවා. ආණ්ඩුවේ නිල්පාට ගල් වගේම කොළපාට ගලුත් බුරුල් වෙලයි තියෙන්නේ. කොයි වෙලාවේ ගැලවෙයිද දන්නේ නෑ කියලා ආණ්ඩුවත් දෙගිඩියාවෙන් ඉන්නේ. පියංකර ජයරත්න මැතිතුමා සනිටුහන් කළේ ඊනියා යහපාලන ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි.
එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරු විස්සකට අධික පිරිසක් ව්‍යවස්ථාව ඉදිරිපත් කරන අවස්ථාවේ ආණ්ඩුවෙන් ගැලවිලා ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දෙනවා. රට ගැන හිතන හෙට ගැන හිතන තරුණ මන්ත්‍රිවරු විශාල පිරිසක් රට වෙනුවෙන් ඒ තීන්දුව ගන්න ලෑස්තියි.‘