Dubai Mariott
නන්දන ලොකුවිතාන සම්බන්ධවූ 

ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි

පසුගිය රජය සමයේ විවිධ සැකකටයුතු මුදල් ආයෝජනයන් නිසා ප්‍රසිද්ධවූ නන්දන ජයදේව ලොකුවිතාන සම්බන්ධ කරගෙන පසුගියදා හොරණ ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ කටයුතු ආරම්භවූ නමුත් මේ වනවිට එය අත්හිටුවා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දැනුම් දුන්නේය.
පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් වොක්ස්වැගන් කම්හල ඉදිකිරීම අරඹා දිනකට පසුව අගමැති රනිල් හොරණ ප්‍රදේශයට ගොස්  මේ කියන ටයර් කම්හලේ
ඉදිකිරීම් කටයුතුද ඇරඹූ අතර එහි වීඩියෝ රූප රාමුවල නන්දන ලොකුවිතාන පෙනී සිටීම නිසා ඔහු ගැන දන්නා අය පුදුම විය.
 එම ව්‍යාපෘතියට ආයෝජනය කළේ කවුරුන් දැයි යන්න අගමැතිවරයා විසින් දැන ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බව ඊයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත දන්වා සිටියේය.
කර්මාන්ත ශාලාව ඉදි කිරීමට සැලසුම් කළ භූමිය අක්කරයක් රුපියල් සියයක් වැනි මුදලකට ලබාදීමට  තීන්දුවක්ද ලබාදී ඇති බවත් ඒ ආකාරයට රජයේ ඉඩම් ලබාදීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය.‍ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ඇමතිවරුන්  කවුදැයි හෙළි නොකළේය.

නන්දන ජයදේව ලොකුවිතාන ඩුබායි පදනම් කරගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කිට්ටු සබඳතා පවත්වමින් විවිධ ආකාරයේ නොපැහැදිලි ගනුදෙනු කළ බවට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර මූල්‍යායතනය (ICIJ)  පැනමා වාර්තාව මගින් හෙළි කරන ලද අයෙකි. ඩුබායි හි Mariott හෝටලයේ මිලදී ගත් පුද්ගලයා ලෙස ඔහුව නම් කර ඇතත් ඔහු එය ඇතැම් අවස්ථාවල ප්‍රතික්ෂේප කර තිබේ. නාත්තන්ඩිය ප්‍රදේශයේ උපන්නෙකු බව කියන ලොකුවිතාන පසුගිය රජය සමයේ සජින් වාස් ගුණවර්ධන විසින් හිටපු ජනපති රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දුන් බවද කියැවේ.

ශ්‍රී ලංකා වානේ සංස්ථාව හා ලංකා ඉන්ඩස්ට්‍රිස් ගනුදෙනු සම්බන්ධයෙන් හා නිලෝනා ෆැෂන් ආයතන නිසා ඔහු ගැන කථාබහට ලක්විය. සීෂෙල්ස් රාජ්‍යය හරහා සැඟවුණ ආකාරයේ මුදල් ආයෝජන ඇති බවටද වාර්තා පළ විය.පසුගිය කාලයේ ලෝකයේම අවධානය දිනාගත් කළු සල්ලි ආයෝජකයින්ගේ නම් හෙළි කළ  ‘පැනමා පේපර්ස්‘හි නම් සඳහන් අතලොස්සක්වූ ශ්‍රී ලාංකිකයන් අතර නන්දන ලොකුවිතානගේ නමද විය.
හොරණ ටයර් කම්හලට ඔහු සම්බන්ධවූ බව අවසන් මොහොත වනතුරු අගමැති රනිල් දැන සිටියේ නැති බව ඇමති රාජිත පවසා සිටීමද ගැටලු මතුකරන කාරණාවකි.