මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නට තමා තීරණය කෙළේ වැරැදි කළ පුද්ගලයන් සොයා නඩු පවරා හරියට වැඩේ අවසන් කරන්නට බවත් පාර්ලිමේන්තුවේ බැඳුම්කර
විවාදයේදී සිදු වූයේ දෙගොල්ලොම හිතේ හැටියට නා ගැනීම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ප්‍රකාශ කළේය.

මම ආණ්ඩුවෙන් එළියට ආවේ එදා ආණ්ඩුවේ වංචා, දූෂණවලට විරුද්ධවයි. මේ ආණ්ඩුවේ වංචා, දූෂණ සිදු වෙනවා නම්
ඒවා යට ගහන්න මට කිසිම වුවමනාවක් නැහැ. වංචාවට, හොරකමට විරුද්ධ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ සිටිනවා නම් මට සහාය දෙන ලෙස ඉල්ලනවා යැයිද ජනපති පැවැසීය.

අර්ජුන් මහේන්ද්‍රන් එළියට දැම්මේ මම. කුමාරස්වාමි පත්කළේ මම. විගණකාධිපති පත් කළේත් මම. වැරැදි කරන අය රකින්න මම සූදානම් නෑ. මම කිසි කෙනකුට නැවෙන්නෙ නැහැ. ජනතාවට පමණක් හිස නවනවා යැයිද ජනපති පැවැසීය.

කෝප් කමිටුවේ වාර්තාව පිළිබඳව පැවැත්වූ විවාදය පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එම වාර්තාව යවා තිබෙනවා. පොලිස්පතිවරයාටත් යවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ පවත්වන්න. ඒවා අවුරුදු දෙක තුන ඇදෙන නිසයි තුන් මසක් කල් දී කොමිසමක් පත්කළේ යැයිද ජනපති පැවැසීය.

මේ බැඳුම්කර නාඩගම පසුගිය ආණ්ඩු කාලෙත් සිදුවී තිබෙනවා. තවත් ජනාධිපති කොමිසමක් පත්කර ඒ ගැනත් සොයා වැරැදි කළ අයට දඬුවම් දෙන බවද ජනපති පැවැසීය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ ඉදිකළ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී ඊයේ (25දා) පස්වරුවේ මේ විශේෂ උත්සවය පැවැත්විණි.

එහිදී විශේෂ අනුශාසනාවක් පැවැත්වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ රටට කෝටි ගණනක් පාඩු වූ විශාල හොරකමක් සිදුව තිබෙනවා. කුඩා ළමයා පවා ඒ ගැන දන්නවා. ඔබතුමා ජනාධිපති කොමිසමක් පත්කර මෙය යට ගහන්න හදනවා යැයි මිනිස්සු කතා වෙනවා.

ඔබතුමා හිර වෙලා ඉන්න බවක් පෙනෙනවා යැයි ජනාධිපතිවරයා හමුවේ පැවැසූහ.

උන් වහන්සේගේ දේශනයෙන් පසු සභාව අමතමින් ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශ සිදු කෙළේය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද සභාව ඇමැතූහ. වජිර අබේවර්ධන, රංජිත් සියඹලාපිටිය ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ
(උදේනි සමන් කුමාර)