වෛද්‍ය සුදේශිකා මියගොස් තනිවුණ සැමියා සබුර් 
‘ගැබ්ගත්‘ කටකතා නිසා කණස්සල්ලෙන්

පසුගියදා ඒ 9 මාර්ගයේ මැදවච්චිය පසුකර වවුනියාව දෙසට ගමන්කරමින් තිබුණ රථයක ගමන් කරමින් සිටි වෛද්‍යවරියක සහ ඇගේ පවුලේ ඥාතීන් කන්ටේනර් රථයක හැපී බරපතල අනතුරකට ලක්වූ අතර එයින් සුදේශිකා නමැති වෛද්‍යවරියක සමග ඇගේ සැමියාගේ මව හා පියා දෙදෙනාද මියගියා. බරපතල තුවාල ලද වෛද්‍යවරියගේ  සැමියා මොහොම්මදු සබුර් රෝහල්ගත කළා.
මෙම සිද්ධියෙන් පසුව වෛද්‍යවරිය සම්බන්ධයෙන් විවිධ අනවශ්‍ය ප්‍රචාරණයන් සිදුවූ බවත් ඒ බොහෝ දේ සාවද්‍ය තොරතුරු බවත්
ඇගේ සැමියා පෙන්වා දෙයි.

“ඇක්සිඩන්ට් එකෙන් මගේ වයිෆුයි අම්මයි තාත්තයි ඔක්කෝම නැති වුණා. මට දරාගන්න බැහැ. පත්තරවලයි,
ෆේස් බුක්වලයි මොනවද මේ දාලා තියෙන්නේ. එකක තිබුණා සුදේශිකා ගැබිනියක් වෙලා හිටියා කියලා
දාන්න ඕන එකයි එපා එකයි ඔක්කෝම දානවා. අනතුර වෙච්ච විදිහ ගැන නම් දැන් මට මතකයක් නැහැ. අම්මගෙයි තාත්තාගෙයි බොඩීස් බලන්න බැරි තරම් ඩැමේජ් වුණා. මට මතක එච්චරයි.” ඔහු කියා ඇත.
සුදේශිකාගේ උපන්ගම වූයේ නාරාහේන්පිටය. සහෝදරියන්ම හතර දෙනකු සිටි ඇය පවු‍ලේ දෙවැනි දරුවා විය.
කටාර්හි සේවය කරන අක්කා කෙනෙකුත් ඉංජිනේරුවරියක් වූ නංගි කෙනෙකුත් සාමාන්‍ය පෙළ විභාගයට ලියූ තවත් නංගී කෙනෙකුත් සිටි ඇය මුලින්ම නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විදුහලෙන් හා පසුව කොළඹ විශාකාවෙන් අධ්‍යාපනය ලබා ඇති අතර මුස්ලිම් පෙම්වතාවූ මොහොම්මදු සබුර් සමග ඇගේ මුල් පාසලේදී ඇති කරගත්වූ ප්‍රේම සම්බන්ධය වෛද්‍ය විද්‍යාලයට ගියත් වෙනස් නොකර තබාගෙන පසුව ඔහු සමගම විවාහ වී සිටියාය.ඒ  මීට වසර එකහමාරකට පෙරය.
කොළඹ මහ රෝහ‍ලේ සේවය කළ ඇය නව වසරේ කරාපිටිය රෝහලේ පත්වීමකට යන්නට සූදානම්ව සිටි කාලයේ මෙම අනතුර සිදු විය.
සුදේශිකාගේ සැමියා සේවය කළේ රත්මලානේ ටෙලිකොම් ආයතනයේය.

තම බිරිඳ මව හා පියා සමග යාපනයේ සංචාරයක යෙදෙන්නට පසුගිය 26 වැනිදා සඳුදා පිටත්වූ ගමනේදී මෙම අනතුර සිදු විය.තමාගේ ඥාතියකුගේ යාපනයේ නිවසටගොස් ඒමට කැබ් රථයකින් යද්දී මෙම අනතුර සිදුවූ බවත් ඔහු පවසා ඇත. 27දා අලුයම 5.30ට පමණ ඒ-9 මාර්ගයේ මැදවච්චිය පසුකොට වවුනියාව දෙසට භූඔය පාලම සහ නාවන්කුලම ප්‍රදේශය පසු කරමින් සිටියදී විරුද්ධ දෙසින් ආ කන්ටේනරයේ රථය ගැටී සුනු විසුනු වී ගොස් තිබුණි.

32 හැවිරිදි වියේ වූ වෛද්‍ය ඒ.ඩී.ඒ. සුදේශිකා මරුමුවට පත්වූ අතර ඇගේ මාමණ්ඩිය වූ 58 හැවිරිදි පප්රාන් සහ නැන්දණිය වූ 53 හැවිරිදි මලීසාද මරුමුවට පත් විය.
බරපතළ තුවාල ලැබූ සුදේශිකාගේ සැමියා වූ සබුර් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර මේ වනවිට ප්‍රතිකාර ලබා තම දෙමටගොඩ නිවසේ සිටියි. ඇයට දරුවෙකු ලබන්නට සිටි කතාව ෆේස් බුක් මාධ්‍ය ඔස්සේ පළකරතිබීම ගැන ඔහු කණස්සල්ලෙන් සිටී.

තොරතුරු - වජිර ලියනගේ
ඡායාරූප – හේෂාන් දසනායක