කුලසිරි බුදවත්ත සොයුරු 
නර්තන ශිල්පී තිලකසිරි බුදවත්ත 
අභිරහස් ලෙස මියයයි

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ කාර් රථයක රියැදුරුවරයකු හදිසියේ හෘදයාබාධයක් සෑදී එම කාර් රථයේම මරණයට පත්වී පසුව කාර් රථය මාර්ගය අසල නතර කර දමා
තිබූ කාර් රථයක ගැටී ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස ධාවනය වෙමින් තිබූ කාර් රථයේ මියගොස් සිටියේ ප්‍රවීණ නර්තන ශිල්පියකු වන කුලසිරි බුදවත්ත මහතාගේ බාල සහෝදරයා වන 'සුනීල' ගැවිලිපිටිය, අරණායක පදිංචිව සිටි නර්තන ශිල්පියකු මෙන්ම කලා භූෂණ සම්මානලාභියකු වූ බුදවත්ත යද්දෙස්සලාගේ ජයන්ත තිලකසිරි බුදවත්ත නමැති 61 හැවිරිදි තිදරු පියෙකි.

මියගොස් ඇති නර්තන ශිල්පියා අරණායක, දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයෙන් සිය නර්තන ගුරු දිවිය අරඹා ඇති අතර පසුව රහල බටහිර විද්‍යාලයේ වසර දෙකක් විදුහල්පතිවරයා ලෙස සේවය කොට 2014 වර්ෂයේ විශ්‍රාම ලබාගෙන ඇත. ගැවිලිපිටිය නිවෙසේ බුදවත්ත කලා ආයතනයේ

අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිට ඇති ඒ මහතා විවාහ මංගල්‍ය උත්සවවල නැටුම් කණ්ඩායම්, ජයමංගල ගී, පෝරුවේ චාරිත්‍ර සපයමින් සිට ඇත.

පසුගියදා (31දා) අරණායක, මාවනැල්ල මාර්ගයේ ලෝල්ලේගොඩ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට ඔහු නර්තන කණ්ඩායමක් ලබා දෙන බවට පොරොන්දු වී සිට ඇති බවත් අදාළ වේලාවට නර්තන කණ්ඩායම උත්සව ශාලාවට නොපැමිණ සිටි නිසා නර්තන ශිල්පීන් සොයා සිය කාර් රථයෙන් කෑගල්ල බලා පැමිණ ඇති බව පොලිසිය කියයි.

උතුවන්කන්ද පසුකර වලකඩයාව ප්‍රදේශයේදී හෘදයාබාධයක් සෑදී ඇති අතර පසුව ධාවනය වෙමින් තිබූ කාර් රථයේම නර්තන ශිල්පියා මියගොස් කාර් රථය මාර්ගය අසල නවතා තිබූ කාර් රථයක ගැටී නතර වී ඇත. පසුව එම ස්ථානයේ සිටි කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් මංගල උත්සවයට පැමිණ සිටි පුද්ගලයකුගේ කාර් රථයෙන් නර්තන ශිල්පියා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

කෑගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(දමුණුපොළ - චමින්ද ජයලත්)